වසන්ත කාලය වුනත් පරිසර උෂ්ණත්වය සෙ.ග්‍රේ. 6 යි. දරුණු සීතල කාලගුණයක්. මෙල්බනයේ, උතුරු එපින් රෝහලට ඉදිරිපස තිබෙන සුඛෝපභෝගි ක්විස්ට් හෝටලයේ තෙවන මහලේ සිට ජනේලයෙන් පිටත බැලුවාම ඈතින් පෙනෙන්නේ ඩැන්ඩිනොන්ග් සුන්දර කඳු පන්තියයි. වමට
ක්‍රැගිබන් දක්වා යන කෙටි මාර්ගය, ඉදිරියට දකුණු මොරෑන්ග් මාර්ගය. පසුපසට හියුම් අධීවේගි මාර්ගයට දෙසට විහිදුණු මාර්ගය. ඊට විරුද්ධ අතට විහිදෙන්නෙ ත්‍රෝන්බරි හරහා මෙල්බන් අගනගරය දක්වා කි.මි. 20 දුරට විහිදෙන කෙලින් පාර.
වෙලාව උදේ 8.45 යි. හොඳට ඉර පායලා. මේ දවස්වල මෙල්බන් වලට ඉර බහින්නේ රෑ අටට විතර. ඉර පායන්නෙත් උදේ පහට විතර. ඉර බහිනව දැක්කත් ඉර පායනවා තවම දැක්කෙ නෑ. ලංකාවට වඩා පැය 5-1/2 කට කලින් ඉර පායන නිසා අවදි වෙන්නෙ පරක්කු වෙලා. වෙනදට උදේ 10.30 විතර වෙනකං නිදාගත්තත් අද උදෙන්ම අවදි වුනේ පල්ලි යන්ඩ ඕනෙ නිසා. මේ මගේ පස්වෙනි ඔස්ටේ්‍රලියා ගමන වුනත් පල්ලියකට යන්ඩ හදන පළවෙනි වතාව.
ඔක්තෝබර් 24 වෙනිදා රෑ ලංකාවෙන් පිටත් වුණේ 25 පාන්දර 2.30 ට තියෙන එයාර් ඉන්දියා යානයෙන් දිල්ලියට යන්ඩ. නිදිවරාගෙන දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට යානය ළඟාවෙනකොට උදේ 5.30 යි. එතන ඉඳල මෙල්බන් කරා යන එයාර් ඉන්දියා යානය තියෙන්නේ සවස 1.30 ට. ඒත් උදේ ට්‍රාන්සිට් එක වරද්දගෙන පොඩි කරදරයක් වුනත් ගුවන්තොටට අදාළ මෙල්බන් යානය නතර කරන ගේට්ටුව ගාවට බෑග් එක ඇදගෙන ගිහින් පුටුවකට බර වෙලා ලක්මිණි හදල දුන්නු සැන්ඩ්චිචස් පෙති තුනක් අමාරුවෙන් ගිලල වතුර ටිකක් බිව්වා. බෑග් දෙකේ බර කිලෝ 37 න් බෑග් දෙකේ බර වලින් මට රෙදි ගෙනියන්ඩ ඉතුරු වුණේ කිලෝ 2 විතරයි. අනිත් සේරම පොත්. මගේ අතිජාත මිත්‍රයා ශ්‍රීනාත් මද්දුමගේ ගේ ‘මම ශ්‍රීනාත් – දිගු ගමනක කෙටි මතක’ කියන ‘සරසවි ප්‍රකාශන’ සමාගම මුද්‍රණය කරපු පොත් පනහක් අරගෙනයි මම මෙල්බන් ආවේ. ඉතුරු එව්වා වේලාසන ස්පීඩ් පෝස්ට් තැපෑලට දැම්මා.
ඔක්තෝබර් 29 වෙනි ශනි දින සවස 6.30 එපින් ගලාඩා කමියුනිටි ශාලාවේ පොත දොරට වඩින උත්සවය මහත් උත්කර්ශවත් ආකාරයට පැවැත්වුණා. සංගීතය, ගැයුම් වැයුම්, කෙටි චිත්‍රපට, වාර්තා වැඩසටහන් ආහාර පානයෙන් සැදුම්ගත් ඒ උත්සවය මම කවදාවත් නොදැකපු තරම් ඉස්තරම්. හැමෝම සතුටු වුණා. වැඩේ ඉවර කරල ගෙදර යනකොට පාන්දර 3 යි. එදා හවස සුන්දර ඩැන්ඩිනොන්ග් කඳු වැටියේ උද්භිද උද්‍යානය බලන්න ගියා. වසන්ත කාලය නිසා මැග්නෝලියා, කැමීලියා මල් වලින් පළාතම ලස්සන වෙලා. ගමන පටන් ගන්නකොටම ඇපල් ගස් අස්සෙන් එපින් පල්ලිය දැක්කා. “මාව එනකොට මෙතන ටිකක් බස්සවන්ඩ.” මං කිව්වා පස්වාරයක් මෙහෙ ආපු මට කිසි දවසක මතක් නොවුන දෙයක් මතක් වුණා. අපේ ගමන ඉවර කරල එනකොට රෑ අටයි. ඒත් ඉර බැහැල නෑ. හොඳට එළිය. මං ගියා පල්ලියට. ඒකේ තිබුණේ ඔතඩොක්ස් පල්ලියක ගෘහ නිර්මාණ ශිල්පය. ඒත් බැලුවාම ශාන්ත පේදුරු කියල ලියල තිබුණා. පල්ලියට ගියාම ඒක වහලා.
ඔක්තෝබර් 31 මෙහෙ සරුවට හැලොවින් සමරනවා. ගෙවල් ඉස්සරහ පිට මන්තරකාරියන්ගේ, බකමූනන්ගෙ, ඇටසැකිලි වල රූප හිටවලා. රෑට පත්තුකරන්න මදේ හාරල සිදුරු හදපු වට්ටක්කා ගෙඩි දොරවල් ගාව තියලා. එක එක ජාතියේ බය හිතෙන රූප හැමතැනම. යක්ෂයෝ යක්ෂනියෝ වගේ මූණු පාට කරගත්තකු ළමයි පාර පුරාම හැලොවින් චොකලට් එකතු කර කර ඇවිදිනවා. ශ්‍රීනාත්ලෑ ගෙදරත් හැමෝම පිටට ගිහින්. මම විතරයි ගෙදර. අවුරුදු 11 වුනු එයාලගේ දියණිය චමත්කා යාලුවොත් එක්ක හැලොවින් චොකලට් එකතු කරන්න ගිහින්. ශ්‍රීනාත් ශ්‍රියානිව කි.මි. 20 විතර ඈතින් තියෙන එයා වැඩ කරන බෙල් ස්ටේෂන් එකට ඇරලවන්න ගිහින්. වර්බුම් ටීවී එකට මම ලියන ‘පියසටහන්’ වාර්තා වැඩසටහනට දෙසැම්බර් 8 දිනට අවුරුදු 100 ක් සමරන ගරු මේරි තියෝනිලා කන්‍යා මව්තුමිය ගැන වාර්තා වැඩසටහන ලැප්ටොප් එකේ ටයිප් කරන්න පටන් ගත්තා.
ශ්‍රීනාත් පිටට යනකොට කියල ගියා සිටි එකට යන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ කියලා. ඒ නිසා වැඩේ බාගෙට ටයිප් කරල නාන කාමරයට ගියා. එතකොට වෙලාව 4.30 යි. නාන්න හිතුවත් දතකට මැදලා රැවුල කපල මූන විතරක් හෝදගෙන නාන අදහස අතෑරලා මිනිත්තු 10 කින් විතර පිටතට ආවා. මගේ කාමරේට ගිහින් ෆෝන් චාජරය ගහන්න ගියත් ඒක වැඩ කරන්නෙ නෑ. ටිකක් ට්‍රයි කරල නිකමට උඩ බැලුවා. මගේ කාමරයේ උඩ අල්ලපු කාමරේ සිවිලම අස්සෙන් කළු දුම් එකතු වෙමින් පවතිනවා. අල්ලපු කාමරේ ඉදල බිත්තියයි සිවිලිමයි අතරින් දුම කාමරේට එනවා. මට තේරුනා බරපතල යමක් අල්ලපු කාමරේ සිදධවෙන බව.
මම ඉක්මනට ඒ කාමරේ පැත්තට දුවල ගියා. කාමරේට යන පටු කොරිඩෝව දුමෙන් වැහෙන්න පටන් අරගෙන. දුම අස්සෙන් මම දැක්කා මම හිටපු කාමරයට අල්ලපු කාමරය ගජරාමෙට ගිනි ගන්නවා. ගිනිනිවන හමුදාව පස්සෙ හොයාගත්තේ ඔයිල් හීටර් එකක් පුපුරලා කියලයි. ලෑලි සහ ලී වලින් හදල තියෙන ඔස්ටේ්‍රලියාවෙ ගෙවල් ගිනි ගන්නකොට නිවනවා තියා හිතන්නවත් බෑ. ඒවයේ ගෑස් නල තියෙන්නෙ පොළව යට. මම හනිකට වතුර බේසමක් පුරවලා අරගෙන ගියා. මොන ගිනන්නට වතුර ගහනවා තියා හිතන්නවත් බෑ. “එනිබොඩි ඉන්සයිඩ්. කම් අවුට්…කම් අවුට්” කවුරු හරි ඉංග්‍රීසියෙන් කෑගැහුවා.
ගින්නත්, කාබන් මොනොක්සයිඩ් දුමත් මැද්දෙන් මම හනිකට පාස්පෝට් එකයි, ලැප්ටොප් එකයි විතරක් අරගෙන ගෙයින් එළියට පැන ගත්තා. “ප්ලීස් කෝල් ෆ්‍රයිබිගේට්.” මම කෑගහල කිව්වා.
ලංකා මුදලින් කෝටි 15 විතර වටිනා ගේ පැය භාගයක් ඇතුළත පිච්චිලා ඉවර වුණා. මම සීතලේ ගැහි ගැහී ගිනි ගන්න ගේ දිහා කම්පාවෙන් බලාගෙන හිටියා. ගෙදර හිටපු හැමෝටම ඉතුරු වුනේ ඇඳිවත විතරයි. එක එක ජාතීන්ට අයත් අහල පහල අය පිරුණා. අපි බලාගෙන ඉන්න කොට සේරම දැවිල අළුවෙලා ගියා. ගින්න පටන් අරගෙන මිනිත්තු 5 වගේ ඇතුලත ගිනි නිවන හමුදාව ආවත් එයාලටත් ඒ ගින්න මඬින්න බැරි වුණා. සීතලේ ගැහි ගැහි මම කඳුළු පුරෝගෙන වෙවුල වෙවුල ඉන්නකොට එක එක්කෙනා මට සීතට අඳින ඇඳුම් ගෙනත් දුන්නා. තේ කෝපි දුන්නා.මෙල්බන් මිතුරු සංධානයේ උදව්ව එසැනින් ක්‍රියාත්මක වුණා. යාලුවො ළග තිබුණ සිංහල පවුලකගේ ගෙදරට අපිව කැන්ඳගෙන ගියා. ඒ ලංකාවේ ඉන්න ජනප්‍රීය සංගීතඥයෙක් වුනු රෝහණ ධර්මකීර්තිගේ නංගි ප්‍රමිලා ධර්මකීර්තීලෑ ගෙදර. රෙදි පිළි, කෑම බීම රෑවෙනකොට ඕනෑවටත් වඩා ලැබුණා. දිනපතාම රෝස්ටරයකට කෑම ගෙනාවා. මේ වෙනකොට සිද්ධියට වෙලා දවස් 17 ක්. තාම අපි ඉන්න තැන ලිපි ගිනි මෙලවුනේ නෑ. ඒ තරමට ආගන්තුක සත්කාරය ප්‍රබලයි. ඉන්ෂුවරනස් කම්පැනියෙන් තාවකාලිකව හෝටලයක් ලබාදුන්නා. හැමදේම ටික ටික සංසුන් වෙමින් පවතිනවා. ලෝක ධර්මතාවය, ජීවිත යථාර්ථය මොකද්ද කියල මේ සිද්ධිය අපිට හොඳටම කියා දුන්නා.
අජිත් මෙන්ඩිස්
සන්නස සංස්කාරක
මෙල්බන් සිට