
ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් පී. 627 ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ වරායේදී සිදුවුණා.
එය අධිකාරියට පත් කෙරුණේ නාවික නෞකා විජයබාහු නමින්.
නෞකාව නොවැම්බර් 2 වනදා කොළඹ වරායට ළඟාවුණේ සැප්තැම්බර් 3 වනදා සියැටෙල් වරායෙන් පිටත්වී නාවික සැතපුම් 10,656 ක් දුර ගෙවමින්.
සමුද්‍රිය පොදු අභියෝග ජයගැනීම සඳහා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම වෙනුවෙන් මෙම නෞකාව ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප‍්‍රකාශ කළා.
නෞකාව අධිකාරියට පත් කරමින් එහි නාමපුවරුව සහ නිල ලාංඡනය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.
අනතුරුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.