
මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනා.
ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයා ගුවන් සේවයට අයත් ඕ.වී. 437 දරණ යානයෙන් දිවයිනට පැමිණියේ අද අළුයම 3යි 57ටයි.
අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම, ඒ සඳහා පෙළඹවීම, බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම සහ ශ්‍රී ලාංකික ගෘහ සේවාකාවන් අලෙවි කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා.
ඔහුගෙන් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප‍්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.
ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් පසුව බලධාරීන්ද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා.
ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අතරයි මෙම ජාවාරම සම්බන්ධයෙන් ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන්ට චෝදනා එල්ල වුණේ. පසුව ඔහුගේ වැඩ තහනම් කර, රාජ්‍යත‍්‍රාන්ත්‍රික ගමන් බලපත‍්‍රය ද අහෝසි කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලෙයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ විවෘත වරෙන්තුවක් ද නිකුත් කළා.