/
/
title icon මිනිස් ජාවාරම් සිද්ධියට අත්අඩංගුවට ගත් ඕමාන තානාපති කාර්යාලයේ කුෂාන් රිමාන්ඩ්.
මිනිස් ජාවාරම් සිද්ධියට අත්අඩංගුවට ගත් ඕමාන තානාපති කාර්යාලයේ කුෂාන් රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
මිනිස් ජාවාරම් සිද්ධියට අත්අඩංගුවට ගත් ඕමාන තානාපති කාර්යාලයේ කුෂාන් රිමාන්ඩ්.

මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු ඊයේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ. කුෂාන් මෙලෙස අත්අඩංගුවට ගත්තේ ඕමානයේ මස්කට් නුවර සිට ඊයේ අළුයම දිවයිනට පැමිණිමෙන් අනතුරුවයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අදාළ තානාපති කාර්යාලයේ පළමු සහ දෙවන ලේකම්වරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, සිය සේවාදායකයා එම මිනිස් ජාවාරමට කිසිසේත් සම්බන්ධ නොමැති බවයි ඊ.කුෂාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ.

එමෙන්ම, සුරක්ෂා නිවසේ ර`දවා සිටි කාන්තාවන් පිරිසක් පලාගොස් සිටියදී ඊට නායකත්වය ලබා දුන් කාන්තාවක් යළි සුරක්ෂා නිවස වෙත රැගෙන ඒම හේතුවෙන්, එම කාන්තාව සිය සේවාදායකයාට එරෙහිව අභූත චෝදනා නගමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් සිය සේවාදායකයා ඕනෑම ඇපකරයක් මත මුදා හරින ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර අධිකරණය දැනුවත් කළ බවයි. මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක් බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම සැකකරු තානාපති සේවයට සම්බන්ධ පුද්ගලයෙකු වන හෙයින් ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වාදුන් ස්ථානාධිපතිවරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

කරුණු සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා, සැකකාර ඊ.කුෂාන් නමැත්තා ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required