/
/
title icon නිදහස් පක්ෂ අර්බුදය ඔඩුදුවයි – කැඳවූ සන්ධාන විධායක සභා හමුව ගැන මත ගැටුමක්.
නිදහස් පක්ෂ අර්බුදය ඔඩුදුවයි – කැඳවූ සන්ධාන විධායක සභා හමුව ගැන මත ගැටුමක්.
Editor
1 year ago
Share:
නිදහස් පක්ෂ අර්බුදය ඔඩුදුවයි – කැඳවූ සන්ධාන විධායක සභා හමුව ගැන මත ගැටුමක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පවතින ගැටළුකාරී තත්වය හමුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කළේ, එවැනි රැස්වීමක් පැවැත්වුවහොත් නීතිමය පියවර ගන්නා බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයට තිලංග සුමතිපාල පත් කිරීමට තීරණය කළ බවයි පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ප‍්‍රකාශයට පත් කෙරුණේ.

පසුව එම පත් කිරීම පිළි නොගන්නා බව පවසමින් සන්ධානයේ සාමාජික පක්ෂ නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

එවන් වාතාවරණයක් තුළයි අද පස්වරු පහට නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම පැවැත්වුවහොත් නීතිමය පියවර ගන්නා බව පවසමින් එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ලිපියක් යොමුකර ඇත්තේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත එම ලිපිය ඊයේ යොමුකර තිබුණා.

අදාළ ලිපියේ දැක්වුණේ සභාපතිවරයා විසින් අද පස්වරු පහට විධායක සභා රැස්වීමක් පැවැත්වෙන බවට විධායක සභිකයන්ට දන්වා ඇති බවයි.

එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාවට අනුව එවැනි රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ ලේකම්වරයාට බව අමාත්‍ය මහින්ද අමරවීර ලිපියේ සඳහන් කර තිබුණා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කැඳවා ඇත්තේ නීතිවිරෝධී රැස්වීමක් බැවින් එය අවලංගු නොකළහොත් නීතිමය පියවර ගන්නා බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ රැස්වීම නොපැවැත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required