මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂඨ ලෙස සමත් වූ මහනුවර – අම්පිටිය – මීකණුව ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවාට ගිනි තබා තුවාල සිදුකළ සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිදුවූ පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් ඔහු මේ වනවිට මහනුවර ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබනවා.
මලිත් නිස්සංක සංජීව හෙවත් පැතුම් නැමැති 28 හැවිරිදි සැකකරු තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට අනාවරණ වී ඇති අතර ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය සඳහන් කළා.
අදාළ සිසුවා සාමාන්‍ය පෙළ විභාගයේ ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා පියා සමඟ යළි නිවසට එමින් සිටියදීයි සැකකරු විසින් ගිනි තැබීම සිදුකර තිබුණේ. එලෙස ගිනි තැබීමට හේතුව ලෙස මේ වනවිට අනාවරණ වී ඇත්තේ දරුවාගේ පියාගෙන් සැකකරු කප්පම් මුදලක් ඉල්ලා එය ලබා නොදීම බවයි.