
මෙවර මහ කන්නයේ වී වගාව සඳහා, මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් රැගත් පළමු නෞකාව අද රාත‍්‍රියේ කොළඹ වරායට සේන්දුවීමට නියමිතව තිබෙනවා. එම බණ්ඩි පොහොර තොගය ගොඩබෑම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙරට දිස්ත‍්‍රික්ක අටක වෙසෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9,000 ක් රැගත් නෞකාවක් අද උදෑසන කොළඹ වරායට ළඟාවුණා. මේ වනවිට එම පොහොර ගොඩබෑමේ ආරම්භ කර තිබෙනවා.
මේ අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන්ට ප‍්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අදාළ සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34 කට වඩා වැලි ඇති බවට තහවුරු වීමත් සමගයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ අදාළ සමාගම අසාදු ලේඛන ගත කර නඩු පැවරීමට මෙන්ම ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිසිදු මුදලක් නොගෙවන ලෙසයි.