කැලණිතිස්ස බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම මත විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් බවයි.
නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට අක‍්‍රිය වුණා. මේ හේතුවෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.
මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයෙන් උත්පාදනය වන මෙගාවොට් 300 ක ධාරිතාවද කඩිනමින් පද්ධතියට එකතුවනු ඇති බවයි.
කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය චෝදනා කළේ අඩු මුදලකට විදුලිය ජනනය කිරීමට ඇති අවස්ථා මඟ හරිමින් බලධාරීන් කටයුතු කරන බවයි.
අඟුරු හෝ ඞීසල් වලට සාපේක්ෂව නැෆ්තා පිරිවැය අවම වුවද එම අඩු පිරිවැය ක‍්‍රමවේද පවත්වාගෙන යාමට බලධාරීන් අපොහොසත් වීම ගැටළු සහගත බව එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියා.
එමෙන්ම ඉදිරියේදී සෑම ආගමික ස්ථානයකම සූර්ය පැනල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර විදුලිබල සැපයීම පිළිබඳ සියලූ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.