/
/
title icon වැඩිකළ තුන් සක රියේ ඉන්ධන කෝටාවේ සැඟවුණු ගාස්තුවක්.
වැඩිකළ තුන් සක රියේ ඉන්ධන කෝටාවේ සැඟවුණු ගාස්තුවක්.
Editor
1 year ago
Share:
වැඩිකළ තුන් සක රියේ ඉන්ධන කෝටාවේ සැඟවුණු ගාස්තුවක්.

බස්නාහිර පළාතේ ත‍්‍රිරෝද රථ හිමියන්ගේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සිදුකරන ලියාපදිංචිය සඳහා ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ලියාපදිංචි ගාස්තු නොගෙවූ ත්‍රීරෝද රථ හිමියන්ට අමතර ලීටර් පහක ඉන්ධන කෝටාව ලබා නොදෙන බවයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් ත‍්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අදාළ තොරතුරු https://www.wptaxi.lk/ වෙබ් අඩවියට පිවිස ලබාදෙන ලෙස දැනුම් දී තිබුණා. කෙසේ වෙතත්, එහි ලියාපදිංචි වීමට තොරතුරු ඉදිරිපත් කළ ත‍්‍රිරෝද රථ හිමියන්ට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ මේ වනවිට රියදුරාගේ ගිණුම අනුමත කර ඇති බවයි.

ඒ අනුව ගිණුම සක්‍රීය කර ගැනීම සඳහා ලියාපදිංචි ගාස්තුවක් ගෙවන ලෙසයි එමඟින් දැනුම් දී ඇත්තේ. ඊට අදාළ වෙබ් ලිපිනය සහිත සබැඳියක් අදාළ කෙටි පණිවුඩයේ දක්වා ඇති අතර, එම වෙබ් අඩවියට පිවිසීමේදී දැක්වෙන්නේ ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 500 ක මුදලක් ගෙවිය යුතු බවයි.

එසේම, එහි තවදුරටත් දැක්වෙන්නේ වාර්ෂික අවසර පත‍්‍ර ගාස්තුව ලෙස රුපියල් දහසක් සහ රියදුරු ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 1500 ක මුදලක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ගිණුමට බැර කර ඊට අදාළ තොරතුරු වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කරන ලෙසයි.

ලියාපදිංචිය ලබන වසරේ මාර්තු 01 වැනිදාට පෙර සිදු කර ගන්නා ලෙසද අදාළ වෙබ් අඩවියේ තවදුරටත් දැක්වෙනවා. එලෙස ලියාපදිංචිය ලබා මාස 03 ක් ඇතුළත මගී ප‍්‍රවාහන අවසර පත‍්‍රය ලබාගත යුතු බවද එහි සඳහන්.

කෙසේ වෙතත්, මීට සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය විරෝධය පළ කරනවා. එහි සභාපති සුදිල් ජයරුක් පෙන්වා දෙන්නේ මෙය තවත් බදු මුදලක් එකතු කර ගැනීමේ වෑයමක් බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මෙම යෝජනාවට සහය පළ කරනවා.

ත්‍රීරෝද රථ සඳහා දැනට පවතින්නේ ලීටර 05 ක ඉන්ධන කෝටාවක් වන අතර ත්‍රීරෝද රථ නියාමන වැඩසටහන යටතේ පළමු අදියරේදී බස්නාහිර පළාතේ ලියාපදිංචි වන වෘත්තීය ත්‍රීරෝද රථ සඳහා අමතර ලීටර 05 ක් ලබාදීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුව පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ත්‍රීරෝද රථ ලියාපදිංචිය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් ආරම්භ කළ අතර මේ දක්වා ති‍්‍රරෝද රථ 27,000 ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් අමතර ඉන්ධන ලීටර් 05 ක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ගාස්තු ගෙවා ගිණුම සක්‍රීය කරගෙන ඇත්තේ ත්‍රීරෝද රථ 10,000 ක් පමණක් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ප‍්‍රධානී ජීවින්ද කීර්තිරත්න කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required