33 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකු ඇමරිකානු පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය ශ‍්‍රී ලාංකිකයා රාජන් මුණසිංහ නැමති තාක්ෂණික ව්‍යවසායකයෙකු බව සඳහන්.
පසුගිය නොවැම්බර් 15 වනදා ඔහු නිවසින් පිටතට ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නිවසේ නොසිටි කාලය තුළ කොල්ලයක් සිදුව ඇති බවට සැක කර ඔහු සිය ආරක්ෂාව සඳහා තමන් සතුව තිබූ ගිනි අවියක් ද අතැතිව නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
එහිදී ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින් නගරයේ පොලිස් නිලධාරියෙකු මෙම පුද්ගලයාට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවයි මියගිය ශ‍්‍රී ලාංකිකයාගේ ඥාතීන් ඇමරිකානු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඔස්ටින් පොලිසිය සඳහන් කර ඇත්තේ පුද්ගලයෙකු ගිනි අවියක් අතැතිව තම නිවස ඉදිරිපිට සිටින බවට මියගිය පුද්ගලයාගේ අසල්වැසියෙකු හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් ඔහුට ගිනි අවිය බිම තැබීම සඳහා කාලය නොදී වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවීමටද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.