ලබන වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.
පස්වරු පහට ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප‍්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප‍්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය මස 14 වනදා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම දින හතක් විවාදයට ලක් කෙරුණා.
අනතුරුව පසුගිය 22 වැනිදා පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 121 ක් සහ විපක්ෂව ඡන්ද 84 ක් හිමි වුණා.
එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මෙන්ම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා හමුවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන බවට වාර්තා පළවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියංකර ජයරත්න ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළා.
සමගි ජනබලවේගය මෙන්ම ජාතික ජනබලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධවයි. දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
අනතුරුව පසුගිය 23 වැනිදා සිට අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණු අතර, අද දිනයේදී ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.