කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණය යළි ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දත්ත වාර්තාවට අනුව බත්තරමුල්ලේ වායු තත්ත්ව දර්ශකය ඒකක 52 ක් ලෙස අද පස්වරුවේ සටහන් වී තිබුණා.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 48 ක් ලෙසත්, මන්නාරම සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඒකක 42 ක් ලෙසත් දැක්වුණු අතර කෑගල්ලේ වායු තත්ත්ව දර්ශකය ඒකක 41 ක් ලෙස සටහන් වී තිබුණා. යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 39 ක් ලෙසයි දැක්වුණේ.
මෙලෙස ඒකක 36ත් 52ත් අතර අගයන් වාර්තා වී ඇති සියළු දිස්ත්‍රීක්ක සහ ප්‍රදේශ තැඹිලි පැහැයෙන් දක්වා ඇති අතර, එය සාමාන්‍ය මහජනතාවට බලපෑමක් සිදු නොකළද සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, ඒකක 53ත් 70ත් අතර,අගයන් රතු පැහැයෙන් වර්ණ ගැන්වෙන අතර, එය සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් මෙන්ම සංවේදී පිරිස් සඳහා බරපතල සෞඛ්‍ය බලපෑමක් ඇති කරන්නක්.
එවැනි රතු පැහැයක් ගන්නා අගයන් ඊයේ සහ පෙරේදා මෙරට ප්‍රධාන නගර රැසක දක්නට ලැබුණා.
මේ අතර නිව්මෝනියාව, ඉන්ෆුවෙන්සා වැනි ශ්වසන රෝග තත්්ත්වයන් නිසා නිදන්ගත රෝග උත්සන්න වීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව මේ වනවිට ඉහළගොස් ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේ.
මේ අතර, අධික ශීත කාළගුණ තත්වයේ බලපෑමෙන් උතුරු පළාතේ ගවයන් සහ එළුවන් 500කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. පශූ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ සඳහන් කළේ ගවයන් 316 දෙනෙකු සහ එළුවන් 170ක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම ශීත කාලගුණික තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද පස්වරුව වනවිට දිවයිනේ අවම ඌෂ්ණත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබූ අතර, එම අගය සෙල්සියස් අංශක 8.1 ක්.
වෙනත් දිනවලට සාපේක්ෂව දිවයිනේ අනෙකුත් ප්රදේශවලද උෂ්ණත්වය පහත බැස තිබෙනවා.