එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් සංශෝධන බදු පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.
ඒ අනුව ඒවා ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන අතර, මෙමඟින් වැට් බද්ද 12% සිට 15% දක්වා ඉහළ නංවා තිබෙනවා.
මේ දක්වා වාර්ෂික පිරිවැටුම මත ආයතනවලින් වැට් බද්ද අය කරනු ලැබුවේ රුපියල් මිලියන 300 ට වැඩි ආයතනවලින් පමණයි. කෙසේ වෙතත්, නව සංශෝධනයත් සමඟ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 80 ට වැඩි ආයතනද වැට් බද්දට යටත් වනු ඇති.
එසේම, සුඛෝපභෝගී මහල් නිවාස මතද වැට් බදු පැනවීමක් සිදුකෙරුණා.
අද පාර්ලිමේන්තුවේදී මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත්වලට අදාළ විවාදය පැවැත්වුණු අතර, අවසානයේදී ඒ සඳහා ඡන්ද විමසීමක්ද පැවැත්වුණා.
ඒ අනුව එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 82 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 41 ක් පමණයි.
එසේම, දේශීය ආදායම් සංශෝධන බදු පනත් කෙටුම්පත තුන්වන කියවීමේ ඡුන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 79 ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 ක්.