නවගමුව – සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කඩු දෙකක්, මන්නා පිහි 4ක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 2ක්, අපරාධ සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක්ද සමගයි.
මෙම පිරිස මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන දැඩිගමුවේ චමින්ද හෙවත් චමියා නැමැත්තා විසින් බවට හෙළිවී තිබෙනවා.
ඒ සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ගිණුමකට මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට මුදල් බැර කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පහර කෑමෙන් තුවාල ලැබූවන් දැඩිගමුවේ චමින්ද නැමැත්තාගේ නිවස කොල්ල කෑමට පැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟයි ඔහු මෙම අපරාධය සිදු කිරීම සඳහා අදාළ මුදල් ලබා දී ඇත්තේ.