තියුණු සටනකින් පසු ප‍්‍රබල බ‍්‍රසීල කණ්ඩායම පරාජයට පත් කරමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ‍්‍රසීලය පරදා දඬුවම් පහර හතරට දෙකක් ලෙස ජය හිමිකරගනිමින්.
තරගය කටාර් – අල්රයන් හි එඩියුකේෂන් සිටි ක‍්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.
බොහෝදෙනාගේ අවධානයට ලක්වූ මෙම තරගය නියමිත කාලය අවසන් වනවිට කිසිදු කණ්ඩායමක් ගෝල රැස් කරගෙන තිබුණේ නැහැ.
ඒ අනුව තරගයේ ජයග‍්‍රාහකයින් තේරීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට සංවිධායකයින් පියවර ගෙන තිබුණා.
එම අතිරේක කාලයේ පළමු අර්ධය නිමාවීමට මොහොතකට පෙර බ‍්‍රසීල ඉදිරිපෙළ ක‍්‍රීඩක නේමාර් ද සිල්වා අලංකාර අයුරින් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූයේ තරගයේ ජයග‍්‍රහණය බ‍්‍රසීලයට විවර කර දෙමින්.
කෙසේ වෙතත් එය තවදුරටත් සිහිනයක් බවට පත් කළ ක්‍රොඒෂියා අතිරේක ඉදිරිපෙළ ක‍්‍රීඩක බෲනෝ පෙට්කොවිච් තරගයේ අතිරේක කාලය අවසන්වීමට මිනිත්තු 3 ක් ඉතිරිව තිබියදී ක්‍රොඒෂියාවට ගෝලයක් වාර්තාකර දුන්නේ ක‍්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරමින්.
ඒ අනුව අතිරේක කාලය නිමාවට පත්වූයේ ගෝල එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයට පත් කරමින්.
පසුව ජයග‍්‍රාහකයින් දඬුවම් පහර මගින් තෝරා ගැනීමට විනිසුරුවරුන් තීරණය කළ අතර, එහිදී දඬුවම් පහර හතරට දෙකක් ලෙස ක්‍රොඒෂියාවට ජය හිමිවුණා.
පසුගිය 2018 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වන්නේ ක්‍රොඒෂියාවයි.
මේ අතර නෙදර්ලන්ත කණ්ඩායම දඬුවම් පහර හතරට තුනක් ලෙස පරාජයට පත් කළ ආජන්ටිනා කණ්ඩායමද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
නියමිත කාලය මෙන්ම අතිරේක කාලයේ අවසානය නිමාවූවේ කණ්ඩායම් දෙකම ගෝල දෙකට දෙකක් ලෙස සම තත්වයේ පසුවෙමින්.
තරගයේ පළමු මිනිත්තු විසි පහේදී නවුවෙල් මොලීනා ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර, පළමු අර්ධය නිමාවනවිට ආජන්ටිනාව ගෝල එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටියා.
දෙවන අර්ධයේ 73 වන මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර සාර්ථකව ප‍්‍රතිවාදී ගෝල් කණුව අතරින් යැවීමට ලියනොල් මෙසී සමත්වූයේ ආජන්ටිනාව ජයග‍්‍රහණයට ආසන්න කරමින්.
කෙසේ වෙතත් 78 වන මිනිත්තුවේදී නෙදර්ලන්ත ඉදිරි පෙළ ක‍්‍රීඩක මෙම්පිස් ඩිපායි වෙනුවට පැමිණි වෙග්හෝර්ට්ස් තරගය කණපිට හැරවීම ආරම්භ කළේ 83 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින්.
තරගයේ අවසන් මිනිත්තුව දක්වා ජයග‍්‍රාහීව සිටි ආජන්ටිනාවේ ජයග‍්‍රහණය පමා කළ වෙග්හෝර්ට්ස් අවසන් මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහර ගෝලයක් බවට පත් කරමින් අතිරේක කාලය දක්වාම තරගය රැගෙන ගියා.
එම කාලයේදී කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකිවූ අතර, දඬුවම් පහර මගින් ජයග‍්‍රාහකයා තෝරා ගැනීමට විනිසුරුවන් කටයුතු කළා. ඒ අනුවයි හතරට තුනක් ලෙස ආජන්ටිනාවට ජය හිමිවුණේ.