ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ මේ මස අගදී යළි සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාකරු ඒ.ජේ. වීරසිංහ උපුටා දක්වමින්.
ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වඩා පුළුල් සහ ශක්තිමත් කිරීම සඳහා 2016 වසරේ සිට 2019 දක්වා සාකච්ඡා වට 11ක් පවත්වා ඇති බවයි ඔහු හින්දු පුවත්පතට ප‍්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවට එට්කා ගිවිසුම පිලිබඳ සාකච්ඡා සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ, මෙම ගිවිසුමෙන් වැඩි වාසි ඉන්දියාවට අත්වන බවට පවසමින් වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් විසින් පැවැත්වූ විරෝධතා හේතුවෙන් බවයි හින්දු පුවත්පත සඳහන් කළේ.
එහෙත් ශ්‍රී ලංකාව කඩාවැටී ඇති ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා ඍජු විදේශ ආයෝජන සහ වෙළඳ ගිවිසුම් අපේක්ෂා කරන බැවින් ඒ හේතුවෙන් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අදහස් කර ඇති බව එම වාර්තාවේ සඳහන්.
මේ අතර ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රොනික වීසා ක‍්‍රමය යලි දියත් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළේ විවේක සංචාර, ව්‍යාපාර, සම්මන්ත‍්‍රණ ඇතුළු අවශ්‍යතාවන් සඳහා සංචාරය කරන ලාංකිකයින්ට එමගින් පහසුවක් සැළසෙන බවයි.