බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා.
ඔවුන් පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල 43 ක් ලෙස සහ දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස දක්වා තිබුණා.
කෙසේ වෙතත්, බිත්තර නිෂ්පාදකයින් ප‍්‍රකාශ කළේ නිෂ්පාදන වියදම සැලකිල්ලට ගැනීමෙදී එම මිලට බිත්තර සැපයිය නොහැකි බවයි.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
ප‍්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අදාළ ගැසට් නිවේදනය අත්හිටුවා බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිලක් යළි නියම කරන ලෙසයි අභියාචනාධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කළේ.
එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ බිත්තර මිල පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය යන පෙත්සම්කරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.
අනතුරුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු කියා සිටියා.
මේ අතර, එළැඹෙන උත්සව සමයේදී වෙළඳපොල තුළ බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව නිෂ්පාදකයින් පවසනවා.
එසේම, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ පැවති සීත කාලගුණික තත්ත්වයත් සමඟ ගවමස් සහ එළුමස් ප‍්‍රවාහනයට සීමා පැනවීමත් සමඟ කුකුළු මස් ඉල්ලූම පසුගිය සතියේ ඉහළ ගිය බවයි.