/
/
title icon දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන බ‍්‍රයන් තෝමස්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන බ‍්‍රයන් තෝමස්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි.
Editor
1 year ago
Share:
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන බ‍්‍රයන් තෝමස්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි.

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කි‍්‍රකට් විස්තර විචාරකයෙකු වන බ‍්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඔහු විසින් මියගිය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 14ක ණය මුදල සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ පස්වරු 2ත් 3ත් අතර අදාළ ව්‍යාපාරිකයා, හමුවක් සඳහා යන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇතැත් තම ලේකම්වරයාට සඳහන් කර තිබුණේ, රුපියල් කෝටි 14ක ණය මුදල ලබාගත් ක්‍රිකට් විස්තර විචාරක බ‍්‍රයන් තෝමස් හමුවීමට යන බවටයි.

එම තොරතුරු අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත‍්‍රී බ‍්‍රයන් තෝමස්ගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ.

ඒ අනුව රාත්‍රි 11යි 30 හේ සිට අද අළුයම 3යි 30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිද්ධියට අදාළව ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගෙන තිබූ අතර නිවසේ සී.සී.ටීවී දර්ශනද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ, බොරැල්ල පොදු සුසාන භූමියේ දී ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුල සිටියදී සොයාගන්නා අවස්ථාව වන විට බ‍්‍රයන් තෝමස් සිය නිවසේ සිට ඇති බවටයි.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ක්‍රිකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත‍්‍රයෙකු ද වනවා.

බ‍්‍රයන් තෝමස් ප‍්‍රසිද්ධ ඇදුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙන්, රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන වංචා කළ බවට 2019 වසරේ මාර්තු 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ලට අදාළව බ‍්‍රයන් තෝමස් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටියා.

මෙම ව්‍යාපාරිකයාගේ මරණයත් සමග බ‍්‍රයන් තෝමස් සමඟ පැවති මෙම ආරවුල මුල් කර ගනිමින් බ‍්‍රයන් තෝමස් සම්බන්ධයෙන්ද මේ වනවිට දැඩි කතා බහක් නිරීමාණය වී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව කළ විමසීමේදී බ‍්‍රයන් තෝමස් කියා සිටියේ ඊයේ දිනයේ දිනේෂ් ෂාෆ්ටර් තමන් එනතෙක් ඔහු රැඳී සිටින බව සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යොමු කර තිබූ බවයි.

කෙසේ වෙතත් බ‍්‍රයන් තෝමස්, ෂාෆ්ටර් හමුවීම ප‍්‍රතික්ශේප කරමින් කෙටි පණිවිඩයක් ඔස්සේ සිය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර බොරැල්ල පොදු සුසාන භූමියේ සහ ඒ අවට ඇති සී සී ටී වී කැමරා මෙන්ම දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමද ආරම්භ කර තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කෙරුණේ සුසාන භූමිය තුළද, එසේ නොමැති නම්, ඉන් පිටත ස්ථානයකදීද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනය කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී මරණ 6ක අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති අතර ඒ හේතුවෙන් වාහන විශාල සංඛ්‍යාවක් සහ වැඩි පිරිසක් සුසාන භූමියට ප‍්‍රවේශ වී ඇති බව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වුණා.

සුසාන භූමියේ පරිපාලන කටයුතු කොළඹ මහනගර සභාව මගින් සිදු කළද එහි ආරක්ෂාව භාරව කටයුතු කර ඇත්තේ රක්නා ලංකා සමාගමයි.

බොරැල්ල පොදු සුසාන භූමියේ ප‍්‍රවේශ දොරටු 5ක් පවතින අතර දෛනිකව ආරක්ෂාවට දොරටු 4ක් සඳහා ආරක්ෂක නිලධාරීන් 4 දෙනෙකු යොදවන බවයි අප කළ විමසීමකදී රක්නා ලංකා සමාගම සඳහන් කළේ.

ආරක්ෂක නිලධාරියෙකු යොදවා නොමැති දොරටුව දෛනිකව වසා තැබෙනවා.

අවමංගල්‍ය කටයුතු සිදුවන අවස්ථාවලදී දේහය රැගත් අවමංගල රථය සමඟ එහි පිටුපසින් පැමිණෙන වාහනවලට පරික්ෂාවකින් තොරව සුසාන භූමියට ඇතූළු වීමට අවස්ථාව ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන බව සඳහන්.

එහෙත් අද සිට එලෙස ඇතුළු වන වාහන අංක සහ රියදුරන්ගේ අනන්‍යයතාව තහවුරු කෙරෙන තොරතුරු ලේඛන ගත කරන ලෙසයි සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය වෙත ඇතුල් වී ඇත්තේ කාසල් වීථිය ආසන්නයේ ෆාම් පාර පෙදෙසේ ඇති ගේට්ටුවෙන් බවයි.

එසේ ඇතුළු වූ රථය ආදාහානාගාර දෙක සහ තුන යන ස්ථාන අතර, ඇති පාලූ ප‍්‍රදේශයක් වන ගුවන් හමුදා ස්මාරකයක් අසළ නවතා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ සාමාජිකයන් ඊයේ රාත‍්‍රියේ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබී ඇති අතර ෂාෆ්ටර් නිවසට නොපැමිණීම හේතුවෙනුයි බිරිඳ, ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ.

එහෙත් ඒ වනවිට දුරකථනය ක‍්‍රියාවිරහිත වී තිබී ඇතිි අතර, දුරකථන සංඥා අනුව ඔහුගේ බිරිඳ පසුව අනාවරණ කරගෙන ඇත්තේ ඔහු බොරැල්ල පොදු සුසානභූමිය අසළ සිටින බවටයි.

ඒ අනුව ඇය, ඔහුගේ ලේකම්වරයා එම ස්ථානයට පිටත් කර යවා ඇති අතර, එහිදී මෝටර් රථයේ රියදුරු අසුනේ අසාධ්‍ය තත්වයෙන් සිටින දිනේෂ් ෂාෆ්ටර් දැක තිබුණා.

ඔහුගේ අත් පා බැඳ, ගෙළ ද ප්ලාස්ටික් පටියකින් ගැටගසා සිටින අයුරු නිරීක්ෂණය කළ ලේකම්වරයා උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර, එම අවස්ථාවේ සුසානභූමි සේවකයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහුගේද සහය ඇතිව දිනේෂ් ෂාෆ්ටර් ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, රාත‍්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර මියගිය ෂාෆ්ටර් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදුකෙරුණු අතර එහිදී හෙළිව ඇත්තේ තන්තුවකින් ගෙල සිරකිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required