මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තිලිණි ප‍්‍රියමාලිට ගොනුකර තිබූ සියළු නඩුවලට අදාළව මේ වනවිට ඇප හිමිව තිබුණත්, එම කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන ඔවුන්ට එරෙහිව විභාග වූ නඩුවක් අද දිනයේදී කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මහේස්ත‍්‍රාත්වරයා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළා.
කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් ආයෝජනය සඳහා යැයි පවසා මුදල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදෙමින් මහා පරිමාණ වංචා සිදුකළ බවට චෝදනා එල්ල වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වූ තිලිණි ප‍්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔක්තෝම්බර් මස 6 වැනිදායි.
ප‍්‍රියමාලිගේ අයථා ගනුදෙනුවලට ආධාර අනුබල දුන් බවට ක‍්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන නමැත්තියද නොවැම්බර් මස 4 වැනිදා අත්අඩංගුවට ගැනුණා.
තිලිණි ප‍්‍රියමාලිට එරෙහිව අධිකරණයේ නඩු 9 ක් විභාග වූ අතර ඉන් අටකට මීට පෙර ඇප නියම වී තිබුණා.
අමෙරිකානු ඩොලර් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලබාගෙන ඒ සඳහා සහතිකයක් ලෙස ලබාදුන් චෙක්පත් අගරුවීමේ සිද්ධියකට අදාළව මෙතෙක් ඇප හිමි නොවූ නඩුව අද දිනයේදී කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේදී කැඳවනු ලැබුවා.
ඒ සඳහා සැකකාරියන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරුණු අතර, එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ දැඩි ඇප කොන්දේසි මත ඔවුන් මුදා හැරීමටයි.
ඒ, රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මතයි.
එහිදී ඇපකරුවන්ගේ පදිංචි සහතික, වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙස නියෝග කර තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තවත් ප‍්‍රකාශයක් පමණක් ලබා ගැනීමට නියමිතව ඇති බවද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙහිදී අගරු වූ චෙක්පත් සඳහා ගෙවීමක් සිදු කරන්නේද යන්න අධිකරණය විසින් තිලිණි ප‍්‍රියමාලිගේ නීතිඥවරුන්ගෙන් විමසා තිබෙනවා.
එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවසා ඇත්තේ ආයෝජනයක් සම්බන්ධ කරුණක් වන බැවින් තම සේවාදායිකාවගෙන් විමසා ඊට පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයිද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.
එළැඹෙන ජනවාරි මස 11 වැනිදා නඩුව යළි කැඳවන ලෙසත් එදිනට විමර්ශන ප‍්‍රගතිය දන්වන ලෙසත් මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.