2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය අතර අද කටාර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගය පැවැත්වෙන කටාරයේ ලූසෙයිල් ක‍්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 80,000 කට නැරඹීමේ පහසුකම් සළසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම තරගාවලිය ආරම්භ වූ දා සිට මේ දක්වා ප‍්‍රවේශ පත‍්‍ර මිලියන 2.89 ක් අලෙවි වී ඇති බවද එම වාර්තාවල සඳහන්. මේ අතර අද රාත‍්‍රියේ ලෝක පාපන්දු ශූරයන් වන කණ්ඩායමට ඩොලර් මිලියන 42 ක ත්‍යාග මුදලක් හිමිවනවා.
අනුශූරයන්ට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 30 ක්. ඊයේ පැවති තරගයෙන් මොරොක්කෝව පරදා තුන්වන ස්ථානය හිමිකරගත් ක්‍රෝෂියාවට හිමිවූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 27 ක් බව සඳහන්.
වත්මන් පාපන්දු ලෝක ශූරයන් වන ප‍්‍රංශය අද පැවැත්වෙන තරගයෙන්ද ශූරතාව දිනාගතහොත් පිට පිට දෙවතාවක් ශූරයන්වූ රටවල් අතරට ඔවුන්ද එක්වනවා. මීට පෙර ඉතාලිය සහ බ‍්‍රසීලය එලෙස පිට පිට දෙවතාවකදී ලෝක ශූරයන් බවට පත්ව තිබුණා.
1986 වසරේ ශූරයන් වූ ආජන්ටිනාව මෙවර ශූරතාව දිනාගතහොත් ඔවුන්ට එම අවස්ථාව හිමිවන්නේ වසර 36 කට පසුවයි.
මේ අතර, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානයට පත්වීමට ක්‍රොඒෂියාව සමත් වුණා. ඒ, කටාර් රාජ්‍යයේ කලීෆා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟයේදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 2 ට එකක් ලෙස පරාජයට පත් කරමින්.