ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.
ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.
දේහය කොළඹ හත මල් පාරේ නිවසේ තැන්පත් කර තිබූ අතර පසුව ආගමික වතාවත් සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ක‍්‍රිස්තියානි දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
ඉන් පසුවයි බොරැල්ල සුසාන භූමියේදි අවසන් කටයුතු සිදුකෙරුණේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිිල් වික‍්‍රමසිංහ ඇතුළු පිරිසක්ද අද එක්ව සිටියා.
මේ අතර, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට අදාළව මේ වන විට 30 කට වැඩි පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔහුගේ ආයතනයේ සේවකයින්, රියදුරුගෙන්, බොරැල්ල සුසාන භූමියේ සේවකයන්ගෙන් මෙලෙස ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වීමට පෙර දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයින් සහ ක‍්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ‍්‍රයන් තෝමස්ගෙන්ද ප‍්‍රකාශ සටහන්කර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දිනයේ ඔහු ගමන් කළ මාර්ග මෙන්ම බොරැල්ල සුසාන භූමියේ ප‍්‍රවේශ මාර්ගවල ඇති සී සී ටී වී දර්ශන පුළුල් ලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සීසීටීවී කැමරා 42 ක දර්ශන පිරික්සූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
බොරැල්ල සුසාන භූමියේදී අත්පා ගැටගසා බරපතල තුවාල සහිතව සිය මෝටර් රථය තුළ සිටියදී බරපතල තත්වයෙන් රෝහල් ගත කළ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.
ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඔහු ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්.