වසර 36 කට පසු පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ලියනොල් මෙසී ප්රමුඛ ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා. ආජන්ටිනාව මෙලෙස පාපන්දු ලෝක කුසලානයක් දිනාගනු ලැබුවේ තුන්වන වරටයි.
කටාර් හි ලූසයිල් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් අසූ අට දහසකට අධික පිරිසක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී දඬුවම් පහර හතරට දෙකක් ලෙස ආජන්ටිනාව ප්‍රබල ප්‍රංශය පරාජය කරනු ලැබුවා.
තරගයේ නියමිත කාලය නිමාවනවිට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර, අතිරේක විනාඩි තිහේදීද දෙපිළම තවත් ගෝලය බැගින් රැස් කිරීම හේතුවෙනුයි තරගයේ තීරණය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදුවුණේ. එහිදී දඬුවම් පහර හතරට දෙකක් ලෙස ජයගැනීමට ආජන්ටිනාව සමත්වුණා.
තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආජන්ටිනාව, විසි තුන්වන විනාඩියේදී පළමු ගෝලය වාර්තා කළා. දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කළේ ලියනොල් මෙසී විසින්.
ඉන් පසු 36 වන විනාඩියේදී ඒන්ජල් ඩී මරීයා තවත් ගෝලයක් රැස් කරමින් දෙකට බින්දුවක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියට රැගෙන එනු ලැබුවා.
දෙවන අර්ධයේදි ප්‍රංශය වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීර්ණ වුවද ආජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැකගත හැකිවුණා.
එහෙත් ප්‍රංශය අසූවන විනාඩියේදී කිලියන් එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබාගත් අතර, 81 ක් වෙනි විනාඩියේදී එම්බාපේ තවත් ගෝලයක් ලබාගනිමින් තරගය සම කිරීමට සමත්වුණා.
අතිරේක කාලයේදී තරගයේ 109 වන විනාඩියේදී මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර, එය ආජන්ටිනා ජයග්‍රහණය තහවුරු කරනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළා.
එම්බාපේ ප්‍රංශය වෙනුවෙන් අතිරේක කාලය නිමා කිරීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වන විනාඩියේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගෙන තරගය දඬුවම් පහරවලින් තීරණය කරගන්නා එකක් බවට පරිවර්තනය කරනු ලැබුවා.
මෙම තරගයේදි එම්බාපේ වාර්තා කළ ගෝල ත්‍රිත්වය ලෝක කුසලාන අවසන් මහා තරගයක දී ක්‍රීඩකයෙකු ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනවා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියන්නේ එංගලන්තයේ ජෙෆ් හර්ස්ට් විසින්.
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය ආජන්ටිනාවේ ලියනොල් මෙසී දිනාගත් අතර, ප්‍රංශ ක්‍රීඩක එම්බාපේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල අටක් ලබාගනිමින් ගෝල්ඩන් බූට් සම්මානය හිමිකරගත්තා.
තරගාවලියේ හොඳම ගෝල රකින්නා ලෙස ආජන්ටිනාවේ එමිලියානෝ මාටිනස් දිනාගත් අතර, තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා වූයේ ආජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස්.
මෙම තරගය මෙසීගේ ලෝක කුසලාන අවසන් තරගයද වීම විශේෂත්වයක්. මෙසී ලෝක කුසලාන තරගාවලි පහකට ක්‍රීඩා කර ගෝල 13 ක් හිමිකරගෙන තිබෙනවා. මෙම තරගාවලියේදී ඔහු ගෝල හතක් වාර්තා කළ අතර, එය ආජන්ටිනාව වෙනුවෙන් මෙවර ලෝක කුසලානයේදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවද වනවා.