තමන් පැහැරගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනීමට තැත් කළ කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇය පසුගිය 15 වනදා ආණමඩුව ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසින්, දියණිය පදිංචි වාරියපොල – හංහමුණ – නවගත්තම ප‍්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බව සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත් ප‍්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඇය එදින සවස සිට අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
තම මව ආණමඩුව නගරයට පැමිණෙන තුරු බලා සිටි කාන්තාවගේ බාල පුතු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ආණමඩුව පොලිසියේ නිළධාරින් මෙම කාන්තාව ගමන් කළ ස්ථාන හා අදාල මාර්ගවල ආවේක්ෂණ කැමරා පරික්ෂා කරමින් අදාල පරික්ෂණ ආරම්භ කරනු ලැබුවේ එම පැමිණිල්ලට අනුවයි.
පසුව ඇය රැදී සිටින ස්ථානය පොලිසිය සොයාගනු ලැබූ අතර මෙම කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ ණය මුුදලක් ගෙවා දැමීම සඳහා මෙලෙස සැමියා රවටා සැගව සිටි බවටයි.