මනස කියන්නෙම අපූර්ව සංකීර්ණ පද්ධතියක්. හැසිරීම,චින්තනය,යහපැවැත්ම,සබඳතා,පුරුදු,සිහින වගේ බොහෝමයක් මිනිස් ජීවිතේ අංශ ගොඩ නැගෙන්නෙ මනස හරහා.අද මේ කතා කරන්න යන්නේ ඒ අපූරු මනස උත්තේජනය කරන සංඝටකයක් පිළිබඳ ව.
ගංජා එහෙමත් නැත්නම් කංසා කියන නම ඇසූ පමණින් නොදන්න අයෙක් නැති තරම්. ත්‍රෛලෝක විජය පත්‍ර යන නමින් ද ප්‍රචලිත මෙය බහුකාර්‍ය භෝගයකි. ටෙට්‍රහයුඩ්‍රොකැනබිනෝල් හෙවත් ටී.එච්.සී මෙහි තිබෙන ප්‍රධාන ක්‍රියාකාරි සංඝටකයයි. මෙම සංඝටකය කංසා අමුවෙන් පරිභෝජනය කිරීමේ දී නොලැබෙන නමුත් එය අමුවෙන් පරිභෝජනය වෛද්‍ය විද්‍යාත්මක ව සුදුසු බව සැලකේ.
කංසා යනු Cannabaceae කුලයට අයත් ශාකයකි. මෙම ශාක වගාව ශ්‍රී ලංකාව තුල නීතියෙන් තහනම් වන අතර විස වර්ග අබිං හා අන්තරාදායක ආඥා පනතට අනුව ගංජා හෙවත් කංසා ශාකය ළඟ තබා ගැනීම, බෙදා හැරීම,ගබඩා කිරීම හා අපනයනය දඩුවම් ලැබිය හැකි වරදකි.
කෙසේ වෙතත් මෙම ගංජා භාවිතය මෑතකදී ඇති වූවක් නොවන බව විද්‍යාඥ මතයයි.අඩු තරමින් මෙයින් අවුරුදු 2500 කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්‍ෂි බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.පැරැන්නන් ගංජා දුම් පානය කරන්නට ඇත්තේ චාරිත්‍රයක් හෝ එසේත් නැත්නම් ආගමික වතාවක් වශයෙන් විය හැකි බව ඔවුන්ගේ මතයයි. එහි තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බව ද ඔවුන්ගේ අදහසයි.
එහෙත් එම යුගයේ මිනිසා බොහෝ ගංජා වර්ග මෙන්ම, THC සංකීර්ණය පහළ මට්ටමක වූ,මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් ශාක වර්ග පවා වගා කර ඇත.
අතීතය එසේ වුවත් වර්තමානය තුළ කංසා හෙවත් ගංජාවලට පවතිනුයේ වෙනස් ම තත්වයකි. මේ වන විට අවුරුදු 14 ට වැඩි ජනගහනයෙන් 1.9%ක ප්‍රතිශතයක් ගංජා භාවිතාවන සමාජ වටපිටාවක ලංකාව තුළ ගංජා නීති ගත කිරීම සම්බන්ධයෙන් නොයෙක් මතවාද ඇතිවෙමින් පවතී.එම නිසා ම මේ පිළිබඳ ව පුළුල්ව කතා කළ යුතු ය.ගංජා භාවිතය හා වගාව නීති ගත කළ යුතු ද? එහි ප්‍රභේද සියල්ලේම බලපෑම එක හා සමාන ද? කේරළ ගංජා භාවිතය භයානක ද? ගංජා භාවිතය තුළින් ඇතිවන මානසික තත්ත්වයන් මොනවාද?
මේ පිළිබඳව ඉදිරි ලිපි හරහා සාකච්ඡාවට ලක් කිරීමට බලාපොරොත්තු වේ.
අවසාන වශයෙන්,මතක තබා ගන්න!
නිවැරදි දැනුම, හඳට යාමට පෙර වළට නොයා සිටීමට අවස්ථාවක් ලබා දෙනු ඇත !
සඳුනි දිසානායක.