සීදුව – කොටුගොඩ පාරේ – ගලිගංඑලිය ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්වුණේ 39 හැවිරිදි ගිහාන් කාංචන නැමති රද්දොළුව – කොටුවල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මෙම පුද්ගලයා ප්රදේශයේ මුදල් පොලියට ලබාදෙන අයෙකු බව සඳහන්. මෙම පුද්ගලයා ඝාතනයට ලක්වූ පස්පොඞ්ඩා නැමැත්තාගේ හිතවතෙකු බවට තොරතුරු අනාවරණ වනවා.
තුවාල ලැබූ අනෙක් කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර ඇය 64 හැවිරිදි කල්යානි පෙරේරා නැමති ගලිගංඑලිය ප්රදේශයේම පදිංචිකාරිනියක්. ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 7 ට පමණ සීදුව – කොටුගොඩ ප්රදේශයේ කොළ කැඳ අලෙවි කරන ස්ථානයක රැඳී සිටියදියි වෙඩි තැබීම සිදුව තිබුණේ. තුවාල ලැබූ කාන්තාව කැඳ අලෙවි කරමින් සිටි තැනැත්තියයි.
එම අවස්ථාවේදී තුවාල ලැබූ දෙදෙනාම සීදුව – විජයකුමාරණතුංග රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී පිරිමි පුද්ගලයා ජිවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.
වෙඩි තැබූ සැකකරුවන් සෙවීමට මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.