ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර තිබෙනවා. ඊයේ දිනයේ ඔවුන්ගෙන් විමර්ශනයට අදාළව ප‍්‍රශ්න කිරීම් සිදුකළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 60 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පසුගිය 15 වනදා දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ අත්පා බැඳ ගෙළ ප්ලාස්ටික් පටියකින් ගැටගසා බරපතල තත්ත්වයේ සිටියදී සොයා ගත් අතර, රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වුණා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අදාළ ස්ථානයේ ඇති බවට දුරකථන සංඥා අනුව බිරිඳ විසින් හඳුනාගෙන, ඒ පිළිබඳව, ඔහු සමඟ සමීපව කටයුතු කළ විධායක නිලධාරියෙකු එම ස්ථානයට කඩිනමින් පිටත් කර හැර තිබුණා.
අදාළ විධායක නිලධාරියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් ප‍්‍රකාශයක් ලබාගෙන ඇති අතර, දැනට ලබාගන්නා ප‍්‍රකාශයන්හි පරස්පරතා මත ඉදිරියේදී ඔහුගෙන්ද යළි ප‍්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැනටමත් ෂාෆ්ටර් සමඟ කටයුතු කළ කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයට අදාළ විමර්ශනයේදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
මේ අතර කොළඹ – හත මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමිය වෙත ගමන් කරන අතරතුර මළලසේකර මාවතේ අවන්හලකින් පුද්ගලයින් දෙදෙනෙකුට සෑහෙන ප‍්‍රමාණයේ කෙටි ආහාර මිලදී ගෙන ඇති බවට පසුගියදා අනාවරණ වී තිබුණා.