ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික ජනතාව අද සමරනවා.
සියලූ ආගම්වල ජනතාව සමඟ සමගියෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, කිතුනු ජනතාවට අසිරිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන බවත්, අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මේ අතර කිතු උපතේ යථාර්තයට සමීප වෙමින් එකිනෙකා කෙරෙහි දයානු කම්පාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම කි්රස්තුන් වහන්සේට දැක්විය හැකි උපහාරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මහ මැදුරට මෙන්ම දුගී පැළටත් සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බවයි ජනාධිපතිවරයා නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කරන්නේ. වත්මන් සමාජ සහ ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්තයට සමීප වීමේ වැදගත්කම එහි අවධාරණය කර තිබෙනවා.
මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළේ පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැප වූ ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය සැබෑ කාලීන අවශ්‍යතාවක් වන බවයි. වෛරය සහ කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථික වශයෙන් භව බෝගයෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නත්තල් දින පණිවුඩයක් නිකුත් කර තිබුණා. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙළොවට බිහිවීමෙන් සුභාරංචිය සමරණ සකළ කිතුනු බැතිමතුනි, අන්ධකාරය නිමාවූ දැයක් සහ ලොවක් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන අසිරිමත් නත්තලක් වේවා යන්න ඔහු තබා තිබූ සටහනේ සඳහන්.