පවතින වැසි තත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත‍්‍රික්ක පහකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලටයි.
අද පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් අවදානම නිකුත් කර ඇති අතර, එම දිස්ත‍්‍රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටිනවා.
ඊයේ රාත‍්‍රියේ සිට මහනුවර ප‍්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ – දුනුවිල ප‍්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීමෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස මියගිය දෙදෙනා 16 සහ 18 හැවිරිදි වයස්වල පසුවන බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර, ඒ මියගිය දෙදෙනා, ඔවුන්ගේ මව, පියා සහ අනෙක් සහෝදරියයි. පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි සහෝදරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මවට සහ පියාට අනතුරෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.