විදුලිබිල වැඩි කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, විදුලිබිල වැඩි කිරිම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින්.
දරාගත නොහැකි අන්දමින් විදුලිබිල ඉහළ දැමීම නිසා මානව හිමිකම් කඩවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි අරමුණ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි සඳහන් කළා.
විදුලිබල මණ්ඩලය සහ මීට අදාළ ආයතන වල නිලධාරීන් නිසි පරිදි රාජකාරිය ඉටුකර තිබේද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී කොමිසම අවධානය යොමු කරනු ඇති.
අදාළ විමර්ශනය දැනට ආරම්භ කර ඇති අතර එහි දෙවන වටය මෙම සතියේ ආරම්භ කරන බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි කියා සිටියේ.
විමර්ශනය කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් නිකුත් කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.
මේ අතර, අද සිට ලබන 30 වනදා දක්වා පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.