ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළඳාම සම්බන්ධ කරුණු අනාවරණ වී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්රකාශ කළා.
පසුගිය 10 වනදා එහි රැඳී සිටි කාන්තාවන් 84 දෙනෙකුගෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇති කරුණු අනුව ඊට අදාළ සැකකරුවන් බොහෝ දුරට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කාර්යාංශය කළේ.
ඒ අනුව, එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව කටයුතු කරන බවද එහි දැක්වෙනවා.