චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව රුපියල් කෝටි 07 කට වැඩි මුදලක් රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
2019 වසරේ දෙසැම්බර් 31 වනදාට එකතුව රුපියල් එක්කෝටි අනූදෙලක්ෂ 61,864 ක් සහ 2020 ජනවාරි මාසයේදී පන්කෝටි පහලොස් ලක්ෂයක මුදලක් මෙලෙස ආයෝජනය කර ඇති බවයි ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.
ජාතික විගණන කාර්යාලය සිමෙන්ති සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණකාධිපති වාර්තාව එහි වාර්ෂික වාර්තාවේ දක්වා තිබෙනවා. ඊට අනුව 2019 වසරේ දෙසැම්බර් 31 වනදාට සිමෙන්ති සංස්ථාව සතු කොල්ලුපිටියේ ඉඩමක් බැංකුවකට උකස් කර ලබාගෙන තිබූ ණය මුදල රුපියල් රුපියල් නවකෝටි හැත්තෑ හත් ලක්ෂයක්.
එම ණය වෙනුවෙන් 2019 වසර තුළදී ණය වාරික ලෙස එකතුව රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් සහ ණය පොලිය ලෙස එක්කෝටි පහලොස් ලක්ෂ 39,256 ක මුදලක් ගෙවීම් සිදුකර තිබුණා.
ඒ අනුව, ඉඩම උකසට තැබීම වෙනුවෙන් 2019 වසරේ දෙසැම්බර් 31 වනදාට රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂයක හිඟ ණය මුදලක් ගෙවීමට නියමිතව තිබූ බව විගණන වාර්තාවේ සඳහන්.
එසේ ණය පියවීමට තිබියදී මෙලෙස රුපියල් කෝටි 07 කට වැඩි මුදලක් ණය පොලියට වඩා අඩු පොලී ආදායමක් ලබා ගැනීම සඳහා ලිඛිත අවසරයකින් තොරව රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු ලෙස ආයෝජනය කර තිබූ බවයි එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එසේම, සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතිය රාජ්‍ය සමාගමක් වෙත ලිඛිත ගිවිසුමකින් පරිහරණය කිරීමට ලබාදී තිබුණත්, එය පරිහරණය කළ කාලයට අදාළ ගාස්තුව වන රුපියල් පහලොස් කෝටි දහතුන් ලක්ෂ 20,000 ක මුදල අය කර ගැනීමට සංස්ථාවේ කළමනාකරණය කටයුතු කර නොමැති බව විගණන වාර්තාවේ සඳහන්.
ඊට අමතරව චක්‍රලේඛ ප්‍රකාරව අභ්‍යන්තර විගණන සැලැස්මක් පිළියෙල කර නොමැති අතර, 2016 වසරේ සිට සිමෙන්ති සංස්ථාව තුළ අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක නොවූ බවද එහි දැක්වෙනවා.