/
/
title icon චින්ගිස් අයිත්මාතව් තෙලි තුඩින් සායම් කළ සෝවියට් ප්‍රචාරකවාදී සිත්තමේ හරසර.
චින්ගිස් අයිත්මාතව් තෙලි තුඩින් සායම් කළ සෝවියට් ප්‍රචාරකවාදී සිත්තමේ හරසර.
Editor
1 year ago
Share:
චින්ගිස් අයිත්මාතව් තෙලි තුඩින් සායම් කළ සෝවියට් ප්‍රචාරකවාදී සිත්තමේ හරසර.

ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තකයි.”

පරහිතකාමීත්වයේ විශ්වීය සලකුණ වන දුයිෂෙන් නම් අව්‍යාජ සමාජවාදියාත්, ඔහුට ලෝකයක් තරම් පෙම් බැඳී අල්තීනායි සුලෙයිමානවාත්, අයිලයට ඉහළින් හිනහෙන පොප්ලර් පෙම්වතුනුත් කැටිවූ කෙටිම කෙටි පිටු අතර එක හුස්මට කියවා නිම කළ හැකි තරම් හදවතේ සියුම් තැන් හෘදයාංගම ස්පර්ශ කරවන්නා වූ සමාජවාදී සොවියට් රුසියානු සාහිත්‍ය ලොවට දායාද කළ අග්‍රගන්‍ය සාහිත්‍ය කෘතිය ගුරු ගීතයයි.

දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් “ගුරු ගීතය” ලෙසින් සිංහල බසට අනුවාදය කරනුයේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ “පළමු ගුරුවරයා” නම් නවකතාවයි. මේ උත්කෘෂ්ට සාහිත්‍ය නිර්මාණය තරම්, ලොව පුරා සමාජවාදයේ ආශ්වාදය ලබන තරුණ පරපුර කුල්මත් කල වෙනත් කෘතියක් නොමැති තරම්ය.

1928 කිර්ගීස් ජාතික පියකුට හා තතාරි මවකට දාව උපන් චිංගීස් අයිත්මාතව් සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගයද (රාජ්‍ය ත්‍යාගය) දිනාගත්තෙකි. මොහුගේ වෙනත් කෘතීන් අතර “ජමීලා”, “සමුගනිමු ගුල්සාරි”, “වේලාසන කොක්කු ඇවිත්”, “අම්මා සහ මිහිකත” යන කෘතීන්ද සුවිශේෂීත්වයක් උසුලයි. ලංකාවේ බොහෝ පාඨකයින් චිංගීස් අයිත්මාතව් හඳුනා ගන්නේ මෙකී ගුරු ගීතය හරහාය.

දැදිගම වී රුද්‍රිගූගේ පරිවර්තනයෙන් හා සෝවියට් දේශයේ රාදුගා ප‍්‍රකාශකයන්ගේ මුද්‍රණයක් ලෙස පළමුව එළි දුටු මේ කෘතිය අද වන විට කෙතරම් වාර ගණනාවක් මුද්‍රණය කරන ලද්දේදැයි පසුකාලීන ප‍්‍රකාශකයන් පවා නොදනී. එතරම්ම ලොව පුරා ජනාදරයට පත් වූ කෘතියක් ලෙස ගුරු ගීතය අවිවාදයෙන් පිළිගත යුතුත්තකි.

1917 රුසියානු විප්ලවයෙන් පසු ඈත පිටිසරයේ කඳුකර ප්‍රදේශයක් වූ කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපිත වන එක්දාස් නවසිය විසිගණන් වල වූ සැබෑ අත්දැකීම් මේ කෘතියට වස්තු බීජ වී ඇත. එපමණක් නොව කිර්ගීස් සමාජයේ පිබිදීම මෙන්ම පසු කලෙක සෝවියට් පාලනය නිලධාරීවාදයට ගොදුරු වී විනාශ මුඛයට ඇද වැටෙන ආකාරය මෙමගින් නිරූපණය කිරීමට නිර්මාණයකරු සමත් වී තිබේ.

මහාචාර්ය ඒ. වී. සුරවීරයන් පෙන්වා දෙන ආකාරයට “නවකතාව වනාහි සත්‍යයක් සේ පෙනෙන කල්පිතයකි. එය කල්පිතයක් සේ පෙනෙන සත්‍යයක් ද වෙයි.” ගුරු ගීතයත් එවන් නවකතාවකි. ඉතා හෘදයාංගම සියුම් චරිත හා සිද්ධි ඇසුරු කරගනිමින් පාඨක මනස තදින් ග්‍රහණය කර ගැනීමට සාහිත්‍යකරුවා කටයුතු කරයි.

  • දුයිෂෙන් යනු දේශප්‍රේමී යුධ සමයේ රතු භටයෙකු ලෙසද, පස්චාත් යුධ සමයේ සමාජයට යහමග පෙන්වන ගුරුවරයෙකු ලෙසද, නිහතමානී රාජ්‍ය සේවකයෙකු ලෙසද අසාමාන්‍ය කැප කිරීම් කරමින් සෝවියට් යුගය ඉදිරියට තල්ලු කළ අව්‍යාජ සමාජවාදියෙකි. දුයිෂෙන් යටතේ අකුරුකළ අල්තිනායි සුලෙයිමානවා යනු එරට නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල ලබා මහාචාර්යවරියක් බවට පත් වන්නියකි. අල්තිනායිගේ චරිතය දුයිෂෙන්ගේ චරිතයේ ප්‍රභාව වැඩිදියුණු කරනුවස් නිර්මාණකරු යොදාගෙන තිබේ. තම තරුණ පරම්පරාවන් විසින් උරුමකර දුන් ඉරණම නම් ඉපදී ගේ දොර වැඩකොට ගොවිතැන් වලට උදව් වී ඉතා අඩු වයසින් වීවාහ වී දරු මල්ලන් හදා වඩා අතිවිශාල ශ්‍රමික ජීවිතයක් විඳ එම පොළොවටම දියවී යන ඈත පිටිසර රුසියානු ස්ත්‍රීන් එකල දැකිය හැකි සාමාන්‍ය තත්වයයි. අල්තීනායි ඉන් එකියක් වන්නට තිබිණි. එහෙත් විප්ලවය මෙම තත්වය වෙනස් කරයි.සාහිත්‍ය කෘතියෙහි ඔවුන් කල්පිත චරිත වුවද සමාජවාදය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපවුණ විශාල පිරිසකගේ චරිත නියෝජනය කරයි. අල්තීනායිගේ නැන්දා,මාමා හා සයිකාල් හා කරකේ පමාණක් නොව මූසල රතු මුහුණා, සතුම්කුල් ද කතාව ආලෝකමත් කිරීම වස් යොදා ගනු ලැබූ අනු චරිතයි. මේ චරිත ගෙනහැර පාන්නේ ඉතිහාසයේ එක් තීරණාත්මක කාලපරිච්ඡේදයක අරගලයේ පුවතයි.

හුදෙක් ගුරු ගෝල වෘතාන්තයකට එහා ගිය වෙනස්ම ආකාරයේ කෘතියක් ලෙසින් මෙහි දිගහැරෙනුයේ, සෝවියට් සමූහාණ්ඩුවේ හද්දා පිටිසර කීර්ගීසයේ අතිශය ග්‍රාම්‍ය පෙදෙසක් වූ ගම්බද පරිපාලන ඒකකයක් වන අයිලයට එක්තරා තරුණයෙකු පැමිණෙයි. ඔහු දුයිෂෙන්ය. ඔහු තරුණ කොම්සෝල්වරයෙකි. ඔහුට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි නැත. මෙහි එන කාගේත් හව්හරණක් නොමැති අනාථ දැරියක් වේ. ඒ අල්තිනායි ය. දුයිෂෙන්ගේ ආදරය, කැපවීම, නිවැරදි මගපෙන්වීම, අල්තිනායිට අයිලයෙන් එපිට වූ අලූත් ලෝකයක් විවර කර දෙන්නා වූ කතා වෘතාන්තය මෙහි දිග හැරෙයි.

“මම කවුළුව ඇරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මගේ චිත්‍රවල තිබෙන කටු සටහණින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකා දමා මුලසිටම අඳින ලද ඒවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නෙවෙයි මේ.”

නිර්මාණයට පිවිසෙත්ම වර්තමාන කාලයෙන් ඇරඹා අතීත කාලයට වැද තිබේ. එය පංකාදු ආරම්භයකි. මේ ඡේදය තුළ පමණක් කාලභේද පරස්පරතා හතරකි. තවද, මෙහි තමා ගේ චිත්‍රය ඇඳීමට නිර්මාණාවේශය නැතිකම ගැන ලතවෙන චිත්‍රශිල්පියාගේ සිතුවිලි රුද්‍රිගූගේ මහතා විසිත් සිංහල අනුවාදනය කොට තිබීම ඉතා අපූරුය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිග හැරෙන මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ දුෂේයින් වේ. ඊට අමතරව අල්තීනායි සුලෙයිමානවා ද කෘතිය පුරා දිවෙන සුවිශේෂීම චරිතයයි. ඔවුන් වටා ඇති ශක්තිමත් බැඳීමකි. ඒ අන් කවරක් නොව තම ගෝලයන් වෙනුවෙන් දිවි පරදුවට තබා වෙහෙස වෙන ගුරුවරයෙකි.

ලාංකීය පාඨක ජනයා තුළ ගුරු ගීතය මෙතරම් ආකර්ෂණයකට ලක් වන්නේ නවකතාව අනුවාදනය කල දැදිගම වී. රැද්‍රිගු මහතා සතු අද්විතීය ප්‍රතිභාවයි. පරමාදර්ශී ගුරු චරියක් මෙන්ම වීරාගී නිහඬ ප්‍රේමයක් මෙමගින් නිර්මාණයකරු උචිත අවස්ථා සිද්ධි එක්කාසු කරගනිමින් හා බස සංයමයෙන් හසුරවමින් මහගු කර්තව්‍යයක යෙදේ.

මහ පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳු වලින් වැසීගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳ ගත් මේ ගැටවරයාගේ පැමිණීම විශේෂ සිද්ධියක් විය.’’
නිර්මාණකරු සංකල්ප රූප මවමින් පරිකල්පනීය බස් වහරකින් ගොවිකම හැර අන්කිසි දෙයක් නොදත් අකුරු සාස්තරයක් කියා ඉස්කෝලයක්වත් හෝ නොදත් සෝවියට් සමූහාණ්ඩුවේ ඈත පිටිසර කීර්ගීසයේ අතිශය පිටිසර ගම් ප්‍රදේශයකට පැමිණි මේ තරුණයා නොහොත් දුයිෂෙන්ගේ පරාර්ථකාමීත්වය කෙතරම්දැයි පෙන්වීමට සමත්‍ වේ. මොහුගේ තාරුණ්‍යය කැප කරනුයේ අන් අයගේ යහපත සදහාමය. මෙම ලක්‍ෂණය ගත් කළ සිංහල නවකතාවෙහි දැකිය හැකි වුවත් ඒවායෙහි එය බොහෝ විට යෙදෙන්නේ එම චරිතයට බොධිසත්ව ගුණ ආරූඪ කිරීම සදහාය.

“ශතවර්ෂ ගණනාවක සිට අප ගොවිතැන් කරලා ජීවත් වුණේ.කෙත්මෙනයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ-දරුවෝ ඒ විධියටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වටද. ලොක්කන්ට තමයි අද්දියාපනෙ ඕන. අපි චාම් මිනිස්සු. ඔය නියිනාඩගම් වලින් අපට වැඩක් නෑ.”

සැබෑ ලෙසම රුසියානු අධිරාජ්‍යයේ සැලකිල්ලට කිසි සේත්ම භාජනය නොවූ , දැඩි දරිද්‍රතාවයන් , අකුරක් නොදත් මිනිසුන්ගෙන් පිරී ගිය කිර්ගිස්තානය එකල පැවති තත්ත්වය මෙයයි. නමුත් පසු කලෙක සෝවියට් සමාජවාදී ජනරජයේ මග පෙන්වීමෙන් අනෙකුත් ප්‍රදේශ සමග උරෙන් උර ගැටෙන මට්ටමකට කිර්ගිස්තානය පැමිණේ. සාහිත්‍යකරු කෘතීය තුළ මෙය මනාව ගම්‍ය කරවයි.

සාහිත්‍යකරු අල්තිනායි කතාවට ගෙන එන්නේ අපූරූ ආරම්භයකිනි. ඒ සහෘදයාට සානුකම්පිත හැඟීමක් දන්වමිනි. නිර්මාණයේ විශිෂ්ටත්වය යනු එයයි.

“අල්තීනායි.”
“අල්තීනායි ලස්සන නමක්, නුඹ කාගෙ කවුද “ ලෙසිම් දුයිෂෙන් විමසූ විට ඇය නිහඬ නමුදු යෙහෙලියන් පෙරමුණු ගනී.
“එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලක්..”
සමාජය බලා සිටින්නේම අල්තීනායි වැන් උන්ව පාගා පොඩි කර දමා උන්ගේ වහල්කම් කර ගැනීම උදෙසා පමණි. කිසිදු හව්හරනක් නැති මෑ සොයා පැමිණි දුයිෂෙන් නම් දෙවියෙකි. නව යොවුන් වියේ පසුවන තරුණියකට කොතෙකුත් නම් ඕනෑ එපාකම් ඇත්ද. එහෙත් ඇය ඒවා තනිව විද දරාගෙන පීඩිත පන්තියෙන් එකියක් ලෙස නියෝජනය කිරීමට සාහිත්‍යකරුවා කටයුතු කර ඇත.

ලාංකීය සමාජයට අල්තීනායි වැනි උන්ගේ පීඩිත ජීවිත එතරම් විස්මයට පත්විය යුතු කාරණා නොවේ. ලොව කොහේ හෝ සිදුවන අසාධාරණකම් සැමටම පොදුය. මෙම සාහිත්‍ය නිර්මාණය හෘදයාංගමව වැළඳ ගැනීමට සහෘදයා පෙළඹෙන්නේද අනුවාදකයා වූ දැදිගම වී. රුද්‍රිගු
අනුවාදය කිරීමේ විශිෂ්ට හැකියාව නිසාමය.

” එහෙත් මගේ හඳවත කාරුණික සිනහවකින් උණුසුම් කළ ඒ මිනිසාට…”
දුයිෂෙන් පිළිබඳ අල්තීනායිගේ සිතේ උපන් විශ්වාසය අනෙකක් නොව අල්තීනායි යනු කාත් කවුරුත් නැති අනාථ දැරියක් වීම හේතු යුක්තයකි. මෙවැනි සමාජයක ඈට ලැබෙන අත්දැකීම් නිර්මාණකරු විසින් බහුශ්‍රැත භාවයකින් යුතුව ගෙන හැර දක්වයි. තම නැන්දාගෙන් ලැබෙන තාඩන පීඩන කෙතරම්ද යත් ” ඇයි කළු බැල්ලියේ”, “අම්මා අප්පා නැති වල් කෙල්ල” ‍යන වදන් තුළින් මොනවට පැහැදිලි කරයි.

“අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි”.

අසාමාන්‍ය කැපකිරීම් කරමින් තම රට සහ එහි අනාගත පරපුර ඉදිරියට තල්ලු කරන මිනිසුන් ලෝකයේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. දුයිෂෙන් ඒ ගරුත්වය ලබන කල්පිත චරිතයකි. සෝවියට් සමුහාණ්ඩුව ගොඩනැගීමේදී බොහෝ දුයිෂෙන් වරු ගොඩනගන්නට ඇත. අපට කිර්ගිස්තානයේදී හමුවෙන්නේ එවන් දුයිෂෙන් වරුන්ගෙන් කෙනෙකි.

කෙසේ හෝ ගැහැට විඳ දුයිෂෙන්ගේ අකුරු කරන අල්තීනායි වැනි උන් නිසා දුයිෂෙන්ලාට අහන්නට වූ කයිකතන්දර එමටයි. ඒ බැව් නිරමාණකරු පෙන්වන්නේ,
” ඇයි බොල බැල්ලිගෙ පුතෝ, තෝ අනුන්ගේගෙ කෙල්ලන්ව, තියාගෙන ඉන්නවා නෙවෙද?”
“මම කිව්වා නේද, මේකා ඔය බැල්ලිව තියාගෙන ඉන්නවයැයි කියල.”
මෙය සමාජ යථාර්ථය නොවේදැයි නිර්මාණකරු අපෙන් පෙරළා ප්‍රශ්න නගයි.

සමාජවාදය ගොඩනැගීමේ මූලික අදියරේදී පක්ෂයේ වගකීම් දරා ස්වේච්චාවෙන් ඈත ගම්බිම් බලා කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ගිය මෙවන් මිනිසුන් බොහෝය. දුයිෂෙන්ගේ ඉන් එකකි. පක්ෂයේ ඉල්ලීම මත පැවරුණ කාර්යයට ගිය ඔවුන්ගේ මූලිකම අරමුණ වූයේ සමාජවාදය වෙනුවෙන් කැපවීම පමණි. එහෙත් දුයිෂෙන්ගේ ඉන් එහා ගිය වගකීම්, වගවීම් කර පින්නාගත් උතුම් මිනිසෙකි. ඔහු ඒ තුළින් කිසිවක් අපේක්ෂා කරන්නේද නැත.

සාහිත්‍යකරු නිර්මාණය තුළින් තවත් ඵැතිකඩ නිරූපණයට සමත් වේ. ලාංකීය සමාජයේ මෙන් මෙහිද සමාජ ආචාර සමාචාර මැද මුල් බැස පවතින්නා වූ ඇදහිලි විශ්වාස රාශියකි පවතින බැව් සාහිත්‍යකරු පෙන්වා දේ.

” මේ කෙල්ලගේ හදවත කකියන්නට පටන් අරගෙද දන්නෙ නෑ. යී කරත්න්බායි කලබල වී නැගී සිටියේය.
“ඇයි බොල ගෑනීයේ ඉක්මනින් මතුරපන්”
මෙය සමාජ ක්‍රමය එදා මෙදා තුර ගෙන ආ විශ්වාසයන් හා කෙම් ක්‍රම සමෝදානය වූ යටගියාව පසක් කරන්නකි. ඒවා සංකල්ප රූප මැවෙන සිද්ධි අයුරින් ගෙන එයි.

එපමණක් නොව සාහිත්‍යකරුවා විසින් වහල් සමාජ ක්‍රමයේ ගෑණුකම දියාරු කරන්නට වූ සමස්ත කාන්තාවන්ගෙන් එකියක් ලෙස අල්තීනායි සංවේදනය ගෙනහැර දක්වයි.
” කාන්තාවෙනි, මිනී වළවල් තුළින් නැගිටපල්ලා!, වදහිංසාවලට පාත්‍ර වූ කාන්තාවනි, ඒ අඳුරු යුගය බියගන්වමින් නැගී සිටපල්ලා..” මෙය සමස්ත කාන්තාවන්ටම කරන්නා වූ දාර්ශනික සංකල්පනාවලින් යුත් ආයාචනයක් මෙනි.

අල්තිනායි ද මේ පුදුමාකාර දුයිෂෙන් නම් අධිෂ්ඨානශීලි මිනිසාට ආලයෙන් බැදෙයි. විටෙක තම නැන්දනියගේ  අභිමතය පරිදි මුදල් කෑදරකමෙන් අල්තිනායිව පාදඩයෙකුට විවාහය සඳහා පවරා දුන් මොහොතේ ඇයව බලෙන් පැහැර ගැනීමට මැරයින් සමඟ පාසලට පැමිණි විට දුයිෂෙන් තම පාසලේ ශිෂ්‍යාවන් බේරාගැනීමට අධිෂ්ඨානශීලීව කරන සටන හා අවසානයේ රුදුරු ලෙස පහර කා ඇද වැටුණ මොහොත ගුරුවරයෙකු තුළ තිබිය යුතු පරමාදර්ශී ගුණය අපට පෙන්වා දෙයි. ඒ බව සාහිත්‍යකරු අපට ගෙනහැර දක්වන්නේ,

“මෘගයිනි, හිටපියව්, නැවතියව්,අතහැරපියව්
අල්තීනායිව,”
තම දිවි පරදුවට තබා ඔහු මේ හඬ නගන්නේ කා වෙනුවෙන්ද..? තමාගේ පාසලේ සිසුවියකට දැන් දැන් උද්ගත වන තත්ත්වයෙන් වළකා ගනු පිණිස නොවේද.

” අල්තීනායි උඹව ආරක්ෂා කරගැනීමට මට බැරි වුණා.සමාවෙයන්.” එය බැගෑපත් ආයාචනයකි.

අවසානයේ එම පාදඩයා අතින් දූෂණය වූ අල්තිනායිගේ ජීවිතය අන්තීමටම කඩාවැටුණ මොහොතේ දී ඇයව දිරිමත්කොට එම උවදුරෙන් බේරා සෝවියට් අනුමැතිය ඇතිව උසස් අධ්‍යාපනය කරා නගරයට යැවීමට මැදහත් වන්නේ ද දුයිෂෙන් ය.

මෙය වත්මන් ගුරු පරම්පරාවට කෙරෙන්නාවූ ආදර්ශ සැපයීමක් යැයි සිතීමට පුළුවන. කෙසේ නමුදු වත්මන් සමාජ වපසරිය තුළ අසන්නට දකින්නට ලැබෙනුයේ ගුරුතුමා අතින් අතවරයට, දූෂණයට ලක් වූ සිසුවියන්ය. ඒ අනාවරණය වූ එක් සිදු වීමක් පමණි. යටගියා වූ එවැනි සිදුවීම් ලංකාව තුළම කෙතරම් ශේෂ වී ඇත්ද, අදට අවශ්‍යව ඇත්තේ ලැබෙන වේතනයට අරගල කරන ගුරු චරිත නොව දුයිෂෙන් වන් උත්තුංග ගුණ වලින් හෙළි ගුරු දෙවිවරුන්ය. උන් මිහි පිටට අනාගත පරපුරට වාසනාවකි. ඒ බැව් සාහිත්‍යකරුවා විසින් කදිම අවස්ථාවකින් විස්තර කරයි.

“උඹ දැන් නගරයට යනවා”
” අල්තීනාය, උඹට වාසනාව උදාවේවා. ප්‍රධාන කාරිය ඉගෙන ගන්න එකයි.”
” අපි දෙන්නා හිටවපු අර පොප්ලර් ගස් දෙක මම බලාගන්නම්”
ඒ දෙබස් තුළ සැගවී ඇත්තේ තවකෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් ගොළු වූ අප්‍රකාශිත ප්‍රේමයකි.ප්‍රේමය නම් එසේ විය යුතුමය එය එක් වීමකින්ම කෙළවර නොවිය යුතුය. ආදරණීයන් තවකෙකුගේ ජීව්තයට ආලෝකයක් දී එහි පැලපදියම් නොවිය යුතුය.

නිර්මාණකරු අපූරු පරිසර වර්ණනා වලින් යුත් ජීවිතාවබෝධයක්ද තම පාඨකයාට ලබාදීමට සමත්ය.
” කඳුවල මෙවැනි උලපත් පැන නගී.ඒ වටා අඩිපාරවල්ද ඇති වේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබාගනිති.එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු කෙමෙන් අඩිපාරවල් අමතක කර දමති.” පූර්වාදර්ශී සාහිත්‍ය රචනයක යෙදෙන කතුවරයා ව්‍යංගයෙන් පවසනුයේ කාටත් උරුම පොදු ධර්මතාවයකි.

අල්තීනායි නගරයට ගිය පසු කිසිකලෙක දුයිෂෙන් මුණ නොගැසුනි. දුයිෂෙන් ඔහුගේ අයිලයේ කාර්ය පසෙක දා දෙවන ලෝක යුද්ධයේ රුසියාව රැකගැනීමේ යුද පෙරමුණට යයි. එහෙත් ඇය දුයිෂෙන්ට ආදරය කරන බව ලිපියක් ලියයි. එහෙත් ඇයට පිළිතුරු නොලැබෙයි. මේ ගුරුවරයා තම ශිෂ්‍යාවගේ අරමුණ වෙතට යාම හා අධ්‍යාපනයට උදව් කරන්නේ මෙතැනය. එය ගුරු දෙවිවරුන් සතු කාර්යයකි. ඇයගේ අධ්‍යාපනයට බාධා නොකරයි. ගුරුවරයාගේ ගුරුකම මෙතැනදී හේ අකුරටම රකියි.

“එකිනෙකාට ලංව එකිනෙකාගේ පහස විදිමින් මුළු පරිසරයටම සුන්දරත්වයක්‌ එක් කරන ඒ මහා පොප්ලර්ස් ගස් දෙක හරි සුන්දරය.”

ඔවුන් සිටුවන ලද මෙම පොප්ලර් පැලෑටි දෙක පසුකලෙක මුළු අයිලය පුරා වැජඹෙන කඳු මුදුන මත දිදුලන ආදරයේ සංකේතයක් බවට පත්විය.

අල්තිනායි මහාචාර්යවරියක් ලෙසින් ආරාධිත අමුත්තිය ලෙස පැමිණ පාසල විවෘත කරන අවස්තාවේදී මහලු දුයිෂෙන් ලියුම් බෙදන්නේය. එය සමාජයේ ඛේදවාචකය නොවන්නේද, චින්ගීෂ් ආයිත්මාතෙව මෙම කෘතිය තුලින් පසු කලෙක ඉස් මතු වූ සෝවියට් නිලධාරී වාදයද වඩා මිත්‍රශීලී විවේචනයක නියැලේ. නැගී එන සමාජයේ පිළිගත් යයි සැලකෙන පදවි තානාන්තර වලට මුල්තැන ලැබෙන විට, එම සමාජය ගොඩනැගු මිනිසුන් බොහෝ දුරක සිටින බව ගුරුගීතය තුලින් මතු කර ඇත. අල්තිනායි පාසැල විවෘත කරන මොහොතේ දුයිෂෙන් තම විප්ලවයේ අවසන් කර්තව්‍යය ඉටු කරමින් අව්‍යාජ රාජ්‍ය සේවකයෙකු ලෙස ලියුම් බෙදන්නේය.ඔහු ගොඩනැගු පාසල නවීකරණය කිරීමෙන් පසුව ඔහුට එම උත්සවයට හෝ ආරාධනා නොකිරීම පිළිබඳව කිසි විටක දුයිෂෙන් පසුතැවිලි නොවීය. ඒ සිදුවීම් තුලින් විප්ලවය විසින් ගොඩනගන සැබෑ මිනිසුන්ගේ චිත්ත ධෛර්ය කිසි විටෙක නොසිඳෙන බව දුයිෂෙන් තුලින් නිර්මාණකරු දකින්නේ සමාජයට අවශ්‍ය වූ ආදර්ශයයි.

” මොස්කව් සිට අයිලයට ගොස් සාදන ලද අළුත් පාසල හා නේවාසිකාගාරය දුයිෂෙන්ගේ පාසල ලෙස නම් කළ යුතු යැයි යෝජනා කරමි.”

එකතරම් කලක් ගත වුණද අල්තීනායට හෘදසාක්ෂියෙන් එපිටට යා නොහැකිය. ඇය ඇයටම අවනත නොවී සියල්ල අනාවරණය කරන්නේ තමා පරාජිත වූ හැඟීමකිනි. නමුත් අගේ ජීවිතේ වීරයා එදා මෙන් අදත් දුයිෂෙන්ය. නිර්මාණකරු සාහිත්‍ය කෘතිය තුළ දාර්ශනික සංකල්පනාවක් පිළිබිඹු කලාක් මෙනි.

” මාගේ ගුරුතුමා හමුවීමට නැවත් වරක් මම ගමට විත් ඔහු ඉදිරියේ සමාව ඉල්ලා ගනිමි.”

ක්ෂණයකින් නිර්මාණකරු අපට සිතන්නට දෙයක් ශේෂ කර ඇත. අල්තීනායි දුයිෂෙන්ගේ වෙත ගොස් සමාව ඇයදීමේ සිද්ධිය මනසින් දැකීමට ඉඩ හසර වෙන් කරයි. එය විශිෂ්ට නිර්මාණ කරුවෙකු නිර්මාණාත්මක චින්තනයයි.

මනුෂ්‍යත්වය, ප්‍රේමය, අව්‍යාජ ගැමිකම, දරිද්‍රතාවය සමස්ත කතා වෘතාන්තය පුරාම දිවයයි. ගුරු ගීතය හරහා තම තරුණ විය හා පළමු ආලය පිළිබද පාපෝච්චාරණයක අල්තීනායි නියැලේ.

සාහිත්‍යය තුළ ගුරුවරයාට හිමි තැන පිළිබඳ කියැවීම අතින් ගුරු ගීතය ඉහළම තැනක් ගනී.
“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තකයි.”
ලංකාවේ පමණක් නොව පිබිදී එන විප්ලවවාදී දේශපාලනය තුලද , ශිෂ්‍ය සටන් ව්‍යාපාර තුලද , වධකාගාර වල බිත්ති මතද තුඩ තුඩ රැව් දුන් උදෘත පාඨයක් බඳු ඒ කියමන , දශක ගණනාවක් ඇවෑමෙන් වුවද හදවත් දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඇත.

යහපත වෙනුවෙන් මඟ බලන්නන් ලෝකයට අවශ්‍ය කාලයක “ගුරු ගීතය” අපේ රටේ පාඨකයන්ගේ කියවීම් අතර ඉහළ තැනක තිබිය යුතුමය. ලාංකීය සමාජය හෘදයාංගම වැළඳ ගත්තා වූ දැදිගම වී. රුද්‍රිගු අනුවාදය කිරීමේ විශිෂ්ට හැකියාවත් , කිරීස් ජාතික චිංගීස් අයිත්මාතොව්ගේ රචනා ශෛලියත් ලොව පුරා වෙනසක් කිරීමට සමත් වූ “ගුරු ගීතය” පිළිබඳ කප පවතින තුරු මිනිසුන් කතා කරනු ඇතැයි සිතීම වරදක් නොවේ.

චලනි යාපාබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required