කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉවත දමන ලෙස විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉල්ලා සිටිනවා. විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟහරිමින් ඉදිරිපත් වූ අදාළ යෝජනාවට විරෝධතා එල්ලවීම හේතුවෙන් එය ඉදිරි කැබිනට් මණ්ඩලයට කල්ගිය බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියේ.
මේ අතර, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී මෙහෙයුම් ලාභයක් ලබා ඇති බවට මහජන උපයෝගීතා කොමිසම සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.
එමඟින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2017 වසරේ සිට 2022 දක්වා සෑම වසරකම ජල විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් යම් කාලසීමාවලදී විදුලිබල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් උපයා ඇති බවයි.
කෙසේ වෙතත්, එය පසුගිය අගෝස්තුවේ සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් සිදුවූවක් නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සිදුව ඇත්තේ ණය ප‍්‍රතිව්‍යුහ ගතකර ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට සිදුවීම නිසා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කළා.