පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. විශ‍්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවයි.
අදාළ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක පමණ මුදලක් වැය වන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම්දුන් බව ද පෙත්සම්කරු ප‍්‍රකාශ කර තිබෙනවා.
රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.
පළාත් පාලන ආයතනවල මේ වනවිට සභිකයින් 8711 ක් සිටින අතර එම සංඛ්‍යාව තුනෙන් එකක් දක්වා අඩු කළ යුතු බවට සාකච්ඡාවක් මතුවී තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තුලින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත් නොවන බව පෙන්වා දෙන ඔහු ඉල්ලා ඇත්තේ මැතිවරණ කටයුතු සිදුකිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයින්, අග‍්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.