පළාත් පාලන ඡන්ද විමසීමේ කිසිදු ඡුන්ද කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයා ඊයේ හමු වූ අවස්ථාවේදීයි.
තමන්ට ජනවරම ලැබී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසර දෙකක ඇතුළත රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට බවත් ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් විය යුතු නම් ඒ සම්බන්ධයෙන් වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප‍්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගි වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 40ක් අළුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙනවා.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට ලබාදී ඇති පරිශ‍්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න සඳහා උදෑසන 9:30 සිට 10:30 දක්වා කාලය වෙන් වනවා.
රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද අද පස්වරුවේ පැවැත්වෙනවා.