/
/
title icon දළඳා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ රිමාන්ඩ්.
දළඳා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
දළඳා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ රිමාන්ඩ්.

ඓතිහාසික ශ‍්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔහු අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ රාත‍්‍රියේ බෙල්ලන්විල – මයුර මාවත ප‍්‍රදේශයේදී 57 හැවිරිදි සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගනු ලැබුුවේ පොලිස්පතිවරයා වෙත ලද පැමිණිල්ලක් මත ආරම්භ කළ  විමර්ශනයක් අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

සැකකරු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශයක් නිසා බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබුණා.

එමෙන්ම, මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද දෙපාර්ශවයක් අතර ගැටුම්කාරි තත්වයක් නිර්මාණය වී ඇති බවද ඔවුන් අධිකරණයට හමුවේ කරුණු දක්වා තිබෙනවා. මෙම ප‍්‍රකාශය තුළින් බරපතළ වරදක් සිදුකර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද සිය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමක් සිදුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරු මෙන්ම දියවඩන නිලමේවරයාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට සූදානම්ව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කර තිබෙනවා.

මෙම සැකකරුට විදේශ රටවලින්ද මුදල් ලැබී ඇති බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් ආධාර සැපයීමට එරෙහි පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවත් ඔවුන් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

සැකකරු සිදු කළ එම ප‍්‍රකාශය හරහා බෞද්ධ  ප‍්‍රජාව අතර විශාල කැළඹීමක් හටගෙන තිබෙන හෙයින් මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේදී සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා යූටියුබ් නාලිකා පවත්වාගෙන යමින් වීඩියෝ දහසකට අධික සංඛ්‍යාවක් සමාජගත කර ඇති බවයි.

එම වීඩියෝ තුළින් ඔහු නිර්මල බුදු දහම මිත්‍යා මතවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙනී සිට ඇතැයි සඳහන් කළ නීතිඥවරයා බුදු දහමට අපහාස කිරීමේ චේතනාවක් ඔහු තුළ නොමැති බවත් පෙන්වා දී තිබෙනවා.

වර්තමානයේ රට තුළ නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය යටපත් කිරීම සඳහා ආණ්ඩුව දළදා ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බවත් එවැනි කටයුතු වලින් ආර්ථික අර්බුදය යටපත් කිරීමට නොහැකි බවත් පෙන්වා දෙමින් තම සේවාදායකයා ප‍්‍රශ්නගත ප‍්‍රකාශය සිදු කළ බව කී නීතිඥවරයා  බුදු දහම මිත්‍යා මතවලින් ගලවා ගැනීම සඳහා ඔහු එම ප‍්‍රකාශය සිදු කළ බවත් කියා සිටියා.

එහිදී අතිරේක මහේස්ත‍්‍රාත්වරිය සැකකාර සේපාල් අමරසිංහ අමතමින් දළඳා වහන්සේ යනු ශ‍්‍රද්ධාවන්ත බෞද්ධයින්ගේ ඉහළම මුදුන් මල්කඩ බව කියා සිටියා. මෙවැනි ප‍්‍රකාශ සිදු කිරීමේ දී වඩා සැළකිලිමත් වන ලෙසටත් මහේස්ත‍්‍රාත්වරිය සැකකරුට අවවාද කර තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත‍්‍රාත්වරිය සැකකරු ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required