/
/
title icon ඖෂධ සංස්ථාවේ කෝටි ගණනක අලාභ විගණනයෙන් හෙලිවේ.
ඖෂධ සංස්ථාවේ කෝටි ගණනක අලාභ විගණනයෙන් හෙලිවේ.
Editor
1 year ago
Share:
ඖෂධ සංස්ථාවේ කෝටි ගණනක අලාභ විගණනයෙන් හෙලිවේ.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 වසරේ ජනවාරි 01 වනදා වනවිට තත්ත්වයෙන් අසමත් වූ, කල්ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් එකොලොස් කෝටි හැටලක්ෂ 62,583 ක් බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වන අතර, සමාලෝචිත වර්ෂයේදී එලෙස තත්ත්වයෙන් අසමත් වූ, කල්ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් පන්කෝටි දහසය ලක්ෂ 76,681 ක්.

එම ඖෂධවලින් තත්ත්වයෙන් අසමත් ඖෂධවල පිරිවැය රුපියල් දෙකෝටි හතලිස් හය ලක්ෂ 32,504 ක් වන අතර, ඉන් හැට නව ලක්ෂ 3,953 ක් 2020 වසරේ මැයි 12 වනදා වනවිටත් අයකරගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන්. 2018 වසරේදී සහ 2019 වසරේදී ඖෂධ කල්ඉකුත් වීම සහ හානිවීම හේතුවෙන් සංස්ථාවට දැරීමට සිදුව තිබූ මුළු අලාභය රුපියල් අටකෝටි තිස්හත් ලක්ෂ 99,538 ක්.

එසේම, 2018 වසරේදී ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ක‍්‍රියාකාරීව පැවති ඔසුසැල් 40 න් ඔසුසැල් 24 කින් ලැබී තිබුණු මුළු අලාභය රුපියල් හාරකෝටි පනස්එක් ලක්ෂ 39,259 ක් බව විගණන වාර්තාවෙන් හෙලි කර තිබෙනවා. සමාලෝචිත වර්ෂයේදී ක‍්‍රියාකාරීව පැවති ඔසුසැල් 46 න් 15 කින් ලැබී තිබුණු මුළු අලාභය රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂ 12,586 ක්.

මේ අතර, 2018 සහ 2019 වර්ෂවල අවස්ථා 14කදී වෛද්‍ය සැපයීම් අංශය සඳහා රුපියල් 89 කෝටි 11 ලක්ෂ 81,800 ක් වැයකර ගලනාල සහ පියයුරු පිළිකා සඳහා භාවිත කරන ට‍්‍රස්ටුසුමැබ් මිලිග‍්‍රෑම් 440 එන්නත් තොගයක් මිලදී ගෙන තිබූ බව විගණන වාර්තාවේ සඳහන්.

එම ඖෂධ ඒකකයක් සඳහා 2018 අගෝස්තු 31 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පැවති උපරිම පාලන මිල රුපියල් 95,000 ක් වූවත්, එම වසරේ සැප්තැම්බර් 04 වනදා නිකුත් කර තිබූ ගැණුම් ඇණවුමේදී කරන ට‍්‍රස්ටුසුමැබ් ඖෂධ ඒකක 500 ක් සඳහා ඒකකයකට රුපියල් එක්ලක්ෂ 35,900 බැගින් මුදල් ගෙවා තිබෙනවා.

ඒ අනුව පාලන මිලට වඩා වැඩියෙන් සැපයුම්කරුට ගෙවා තිබූ මුදල රුපියල් දෙකෝටි හාරලක්ෂ 50,000 ක් බවයි විගණනයෙන් පෙන්වා දෙන්නේ.

එසේම, ඉහළ ගණයේ ප‍්‍රතිජීවකයක් වන සෙෆ්ට‍්‍රයක්සෝන් මිලිග‍්‍රෑම් 500 එන්නත් කුප්පි 80,000 ක් රුපියල් 18 යි ශත 72 බැගින් මිලදී ගැනීමේ ප‍්‍රධාන ඇණවුම 2018 වසරේදී නිකුත් කර තිබී ඇති අතර, එම තොගය ප‍්‍රමාද වී සපයා ඇති බව විගණන වාර්තාවේ සඳහන්. ඒ හේතුවෙන් ඇති වූ තොග හිඟය වළක්වා ගැනීම සඳහා එම ඖෂධයෙන් ඒකක 10,998 ක් දේශීය වෙළඳපොලෙන් කුප්පියක් රුපියල් 490 බැගින් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැරීමට සිදුව තිබූ අතිරේක පිරිවැය රුපියල් 51 ලක්ෂ 83,137 ක් වූවත්, ඇණවුම් කොන්දේසි ප‍්‍රකාරව සැපයුම්කරුගේ ප‍්‍රමාදය හේතුවෙන් දැරීමට සිදුවී තිබුණු අතිරේක පිරිවැය සැපයුම්කරුගෙන් අයකර ගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required