ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ඇතුළු 05 දෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති සංජය ධර්මදාස ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි. මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ නිල නිවසේ තිබී සොයාගත් ගංජා පැළ අදාළ ස්ථානාධිපතිවරයා විසින් සිය නිල රථයෙන් රැගෙන ගොස් භාරදී ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පසුගිය දිනෙක යාල ජාතික වනෝද්‍යාන රක්ෂිතයට අයත් පිඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර එකහාමාරක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා පැළ 25,000 ක් පමණ මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර යටතේ තිබූ විමර්ශන ඒකකයක නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබුණා.
එම විමර්ශන නිලධාරින් අදාළ වැටලීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඇති අතර පසුව ඔහු විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්. ඒ අනුව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා තවත් පොලිස් කණ්ඩායමක් සමඟ වැටලීම සිදුකළ ස්ථානයට ගොස් තිබුණා.
ඒවන විටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඒකකයේ නිලධාරින් විසින් අදාළ ගංජා පැළ ගළවා ඉවත් කර ගොඩගසා තිබී ඇති අතර ට්‍රැක්ටරයක රැගෙන ආ හැකි ප්‍රමාණය පමණක් ඇතිමලේ පොලිසිය වෙත රැගෙන ඒමටයි පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් පොලිස් වාර්තාවල නඩු භාණ්ඩ ලෙස දක්වා ඇත්තේ අදාළ ගංජා තොගයෙන් ගස් 253 ක් පමණක් වන අතර ඉතිරි ගංජා පැළ පසුගියදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසෙන් සොයා ගත් ඒවා බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, නිවසේ සිවිලිමේ සඟවා තිබූ අදාළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 08 වනදා රාත්‍රියේයි.
එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු, තවත් පොලිස් සැරයන්වරයෙකු, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ගේ වැඩ තහනම් කිරීමටද පොලිස්පතිවරයා කටයුතු කළා.
ඒ අනුව මොණරාගල කොට්ඨාසය භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස නුවරඑළිය කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.යූ උඩුගමසූරිය පත්කර තිබෙනවා.