ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙනවා. ඒ, එහි නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මෙම හමුවේදී පසුගියදා හෙලිකොප්ටරය ලකුණින් පිහිටවූ නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්වන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
එම සන්ධානයෙන් ඉවත්වන්නැයි අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් අත ලකුණින් ඇතැම් පළාත්පාලන ආයතනවලට නාමයෝජනා භාරදීමට සැළසුම් කර ඇති බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමට අදාළව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් නම් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව තහවුරු කළා.