ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස සහ එක්දින තරඟාවලි සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ යළි කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියා. මෙම තරඟාවලි ජයගැනීමට ඉන්දියාව සමත් වූ අතර පෙරේදා පැවති අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 317 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් වුණේ , එක්දින ක්‍රිකට් ඉතිහාසේ කණ්ඩායමක් පරාජය කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද තමන් සතු කරගනිමින්.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එම තරඟයේදී ලැබූ දරුණු පරාජය පිළිබඳ දින 05 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇති බවයි. එම වාර්තාවට කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ මෙන්ම කළමනාකරුගේද අදහස් ඇතුළත් විය යුතු බව එහි දැක්වුණා.
මේ අතර පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අදාළ වාර්තාව එම කමිටුව විසින් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදුන් අතර නීතිපතිවරයා ලබාදෙන උපදෙස් මත ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ.