ඕනෑම රටක, ජාතියක, ආගමක වර්තමානය සහ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමේදී එහි ඉතිහාස කතාවන් අමතක කරලීමට අපට නොහැකිය. රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඉතාමත් රසවත් ඉතිහාස කතා බොහෝමයක් හමු වෙයි. එම රසබර කතා මෙන්ම ඓතිහාසික නටඹුන් ද මෙරට ප්‍රෙඩ ඉතිහාසයකට උරුමකම් කියයි. එසේම සාක්ෂි දරයි. කෙසේ වෙතත් අද අප කතා බහට ලක් කරනු ලබන්නේ ඉතා පැරණි ඓතිහාසික නටඹුන් වලින් සමන්විත නමුත් තවමත් සංචාරක ක්ෂේත්‍රයේ අවධානයට ලක් නොවූ ස්ථානයක් පිළිබඳවයි.
හරිත පැහැයෙන් දිදුළන කෙත් වතු සිසාරා හමා යන මදනල මතින් සුපෝෂිත වූ දිගාමඩුලු පුරවරයේ ඉතාමත් පෞරාණික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස රජගලතැන්න හදුන්වා දිය හැකිය. රාස්සගල යන අනුවර්තන නාමයෙන් හදුන්වන මෙය ක්‍රි.පූ. 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජතිස්ස කුමාරයා විසින් ආරම්භ කරන ලද බවට මහාවංශයේ සදහන් වේ. දිගාමඩුල්ල පිළිබඳ වැදගත් සාක්ෂි රැසක් මෙම රජගලතැන්න කැනීම් වලදී සොයා ගැනීමට හැකිව තිබේ. අම්පාරේ සිට මහඔය මාර්ගයේ ගමන් කිරීමේදී උහන හරහා රජගලතැන්නට ළගා විය හැකිය. පිටතින් බැලූ විට කිඹුලෙකුගේ හැඩය පෙන්වන මෙම පුදබිම ඉතිහාසයේ ගිරිකුම්බිල නමින් හදුන්වා තිබේ. මිහිදු මහා රහතන් වහන්සේ සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකද මෙම පුදබිමේ තැන්පත්ව තිබීම නිසා මෙහි ඓතිහාසික බව ඉතා ප්‍රබල බව පෙන්වා දිය හැකිය.
අක්කර 1025 පමණ වපසරියක මෙම පින්බිම විහිදී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් මෙම ස්ථානය නිදන් හොරුන්ගේ පාරාදීසයක් බවට පත් විය. මේ සදහා කිසිවෙකුට දොස් පැවරීම සිදු කළ නොහැකිය. මන්දයත් වන ගහනයෙන් වැසී පැවති මෙම භූමිය නිධන් හොරුන්ට අවශ්‍ය ආරක්ෂාව ද සැපයීය. කෙසේ වුවත් යුද්ධය පැවති සමයේ ආරක්ෂක අංශ රට බේරා ගැනීමට කටයුතු කරන විට නිධන් හොරුන් විසින් ඔවුන්ට රිසි පරිදි රජගලතැන්න පුදබිම විනාශ කර තිබුනේ හිත්පිත් නැති අධමයන් අයුරිණි. මෙම පුදබිම තුළ නටඹුන් විශාල ප්‍රමාණයක් පවතී. ඒ අතර ශිලා ලිපි වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව මෙහි ශිලා ලිපි 80ක් පමණ සොයාගෙන තිබේ. මෙම ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි සහ ට්ම් ලිපි තිබූ බවද සදහන් වෙයි.
2012 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය මගින් සිදු කරන ලද සංචාරයෙන් පසුව මෙහි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණි. එතැන් පටන් මෙම ස්ථානය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට් විය. එදා මහා වනයක්ව නිධන් හොරුන්ගේ පාරාදීසයක් ව තිබූ රජගලතැන්න පුදබිම වර්තමානය වන විට නටඹුන් වලින් පිරි පෞරාණික වටිනාකමකින් යුත් පුදබිමක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙහි පවතින සුවිශේෂත්වය වන්නේ කැනීම් සිදු කිරීමෙන් විශාල පුරාවිද්‍යා වටිනාකමකින් යුත් නටඹුන් හමු වීමයි. ඒ අතර චෛත්‍යය දෙකක්, බෝධිඝර, පිළිමගේ, ලහබද්ගේ, ජන්තස්ඝරය, දාන ශාලාව යනාදිය හමු වී තිබේ. රජගල කන්දේ ඇති මෙම පූජා භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 උසින් පිහිටා තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භූමියෙන් ඓතිහාසික ස්ථාන 700ක් පමණ හදුනාගෙන තිබේ. මෙහි සිදු කරන ලද කැනීම් වලින් මෙම පුදබිමේ ඉතිහාසය පිළිබඳ ව තවත් කරුණු බොහෝමයක් අනාවරණය වෙයි. එනම් වසර 2000 ට පමණ ඉතිහාසයකට උරුමකම් කියන රජගල ඉතිහාසය මධ්‍ය ශිලා යුගය දක්වා දිවෙන බවට අලුත්ම පර්‍යේෂණ වාර්තා වලින් අනාවරණය වේ. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ නැගෙනහිර පලාතෙන් හමු වූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය වීමයි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය යනු ඉතාමත් දුෂ්කර ප්‍රදේශයකි. යටිතල පහසුකම් අතින්ද, ආර්ථිකය අතින් ද යම් පහත් මට්ටමක පවතී.ප්‍රධාන කෘෂිකර්මාන්තය වන අතර එයද මේ වන විට රටේ පවතින තත්ත්වය මත අඩාල වී තිබේ. නමුත් මෙම ප්‍රදේශය තුළ සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන බොහෝ සෙයින් පවතී. නමුත් අවාසනාවට මෙන් එම ස්ථාන තවමත් නිසි පරිදි හදුනා ගැනීමට බලධාරීන් සමත් වී නොමැත. එබැවින් ඒවා වන ගහනයෙන් වැසී නිධන් හොරුන්ගේ පාරාදීස බවට පත්වී තිබේ. එයට කදිම උදාහරණය වන්නේ රජගලතැන්න පුරාවිද්‍යා පුදබිමයි. මෙවැනි ස්ථාන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරට මෙම ස්ථාන රැගෙන යමින් මේවා ලෝකයට විවර කළ යුතුය. ඒ සදහා වගකිව යුතු බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුව තිබේ. ඒ හරහා මෙම දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ආදායම් මාර්ග පවා නිර්මාණය කර දීමේ හැකියාව හිමි වේ. ඊට අමතරව විදේශීය සංචාරකයින් හරහා මෙරටට ඩොලර් ගෙන්වා ගත හැකිය. මේ වන් විට රජගලතැන්න තරමක දුරට සංචාරක ආකර්ශනයට පාත්‍ර වී තිබේ. නමුත් එය ඉතාම අවම මට්ටමකි. මෙම රජගලතැන්න සහ අනෙකුත් සැගවී ඇති පුරාවිද්‍යා සහ සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන ප්‍රවර්ධනය කරමින් ඒවා ලෝකයට විවර කර ශ්‍රී ලංකාවේ හෙට දවස සමෘද්ධිමත් කිරීම වගකිව යුතු බලධාරීන්ගේ සහ අප සියලු දෙනාගේ වගකීම වන්නේය.
සනෝජා රංහොටිබණ්ඩාර.