නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේ අද රාත්‍රියේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ අනතුරින් තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රථයේ සිටි පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ අදාළ අනතුරින් බස් රථයේ ගමන් ගත් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි. තුවාල ලැබූ පිරිස මේ වන විට නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.