/
/
title icon උසස් පෙළට සියල්ල සූදානම්.
උසස් පෙළට සියල්ල සූදානම්.
Editor
1 year ago
Share:
උසස් පෙළට සියල්ල සූදානම්.

උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප‍්‍රකාශ කළා.

හෙට සිට ලබන පෙබරවාරි මස 17 වනදා දක්වා දින 22 ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙවර උසස් පෙළ විභාගයට සිසුන් තුන්ලක්ෂ 31,709 ක් අයදුම් කර ඇති අතර, ඉන් දෙලක්ෂ 78,196 ක් පාසල් අයදුම්කරුවන්.

53,513 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වන අතර, දීපව්‍යාප්තව විභාග මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව එම විභාග මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීම සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317 ක් පිහිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

එම මධ්‍යස්ථාන සඳහා දින හයක් සඳහා අවශ්‍ය ප‍්‍රශ්න පත‍්‍ර මේ වනවිටත් ලබාදී අවසන් බවද ඔහු කියා සිටියා. එමෙන්ම ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත‍්‍රය, රියදුරු බලපත‍්‍රය සහ බලයලත් නිලධාරියෙකු විසින් සහතික කරන ලද අනන්‍යතා ලිපියක් මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සඳහා ඉදිරිපත් කළ හැකියි.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප‍්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව සිසුසැරිය බස් රථ 1,617 ම විභාගය පැවැත්වෙන දිනවල ක‍්‍රියාත්මකයි.

එමෙන්ම, මෙම ප‍්‍රවාහන සැළැස්මට සහයෝගය දැක්වීමට ලංකා ගමනාගමන මණ්ඩලයද එකඟතාව පළ කර ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියේ උසස් පෙළ විභාගය වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16 ක් ක‍්‍රියාත්මක කෙරෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required