
පාස්කු ප‍්‍රහාරයට අදාළ නඩුව විභාගවන අවස්ථාවේදී විත්ති කූඩුවට නැගීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ, අද හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට අවවාද කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු විත්ති කූඩුවට නැගීමට කටයුතු කරනු ලැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිටි අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න ඊට විරෝධය පළකළා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ සිය සේවා දායකයා වෙනුවෙන් පවරා ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්තිකූඩුවට නැගීමක් සිදු නොකළ බවයි.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කර ඇත්තේ සැකකරුට චෝදනා පත‍්‍රය කියවාදී නඩුවේ ඉදිරි කටයුතු යළි අභියාචනාධිකරණ තීන්දුවක් ලබාදෙන තුරු වැළැක්වීම මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවයි මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැග ඇති අතර, නඩුව යළි මාර්තු 17 වනදා කැඳවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.