
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන එම්.එම්.මොහොමඩ්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඔහු සඳහන් කළේ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් රාත‍්‍රියේ තමන්ට ලැබුණු තර්ජනාත්මක ඇමතුමකින් පසු තමන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළ බවයි. ඒ හේතුවෙන් මෙලෙස පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව ඔහු ප‍්‍රකාශ කළා.
මීට පෙර පසුගිය 19 වනදා සිට එම කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී.පතිරණට ද මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබාදීමටයි පියවර ගැනුණේ. පෙරේදා රාත‍්‍රියේද ඔවුන් දෙදෙනාට වට්ස්ඇප් හරහා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරමින් පණිවුඩ යොමුකර ඇති අතර එසේ නොමැතිනම් ඝාතනය කරන බව එහි සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එකම දුරකථන අංකයකින් බොහෝවිට මෙම තර්ජනාත්මක ඇමතුම් සහ පණිවුඩ ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මැතිවරණ කොමිසම සැක පළ කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඇමතුම් ලබාදී ඇති බවටයි.
ඒ අනුව, මේ වනවිට සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුතු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තුන් දෙනෙකුටම දුරකථනයෙන් තර්ජන එල්ල වී ඇති අතර, එහි සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ විමර්ශන සිදුකෙරුණත්, ඉන් මෙතෙක් ප‍්‍රතිඵලයක් නොමැති බවයි.