
එළඹෙන මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන බව දැක්වෙන දැන්වීම ඇතුළත් ගැසට් නිවේදනය ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 23ක තේරීම් භාර නිලධාරිවරු විසින් යොමුකරන ලද ඡන්ද විමසීම් දිනය ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. යාපනය දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා විසින් යොමුකරනු ලැබූ ඡන්ද විමසීම් දිනය ඇතුළත් ගැසට් නිවේදනයට ඉඩක් වෙන් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයේ දැක්වෙන ආකාරයට මාර්තු මස 09 වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. එමෙන්ම එම ගැසට් නිවේදනයේ ඒ ඒ දිස්ත්‍රික්කවලට අයත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්ද විස්තර ඇතුළත් වනවා.
පළාත් පාලන ආයතන 339 කට අදාළව අපේක්ෂකයන් 80,720 දෙනෙකු මෙවර ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 58 කින් සහ ස්වාධීන කණ්ඩායම් 329 කින්.