
මහ කන්නය සහ ඉදිරි යල කන්නයේ අවශ්‍යතා සළකමින් සාමාන්‍ය පරිදි ජල විදුලිය නිෂ්පාදනය සදහා ජලය නිකුත් කිරීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය දැනුම්දී තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඞී.එම්.එන්.ජේ.ධනපාල මේ බව සදහන් කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද ලිපියක් යොමුකරමින්.
පසුගිය මස 30 සහ 31 යන දෙදින තුළ විදුලිබල නිෂ්පාදනය සඳහා අමතර ජලය නිකුත් කිරීමට පියවර ගනු ලැබුවේ 31 වනදා සිට ඊයේ දිනය දක්වා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනාවැකියට අනුව බවයි එහි දැක්වෙන්නේ.
එහෙත් එම දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා අතිරික්ත ජලය නොමැති බැවින් මහ කන්නය, යළ කන්නය සඳහා අවශ්‍ය වාරි ජලය, පානීය ජලය, මෙන්ම ගොවිපලවලට අවශ්‍ය ජලයද සළකා සාමාන්‍ය පරිදි ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි අදාළ ලිපියෙන් මහවැලි අධිකාරිය දැනුම්දී ඇත්තේ.
මේ වනවිට මහවැලි ගග හා සම්බන්ධ ජල විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන ජලාශවල සියයට 73 ක් පමණ ජලය පවතින නමුත් ජල විදුලි නිෂ්පාදනයට ගත හැකි ජල ප‍්‍රමාණය සියයට 50 ක් බව සඳහන්.
මහවැලි ජල පාලන ලේකම් කාර්යාලය මගින් කළමනාකරණය කරනු ලබන මහවැලි අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල සහ වැව් වල සියයට 73 ක පමණ ජලය මේ වනවිට පවතින අතර ඉන් සියයට 64 ක් පමණ ප‍්‍රයෝජනයට ගත හැකි බවයි මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළේ.
මෙවර යල කන්නය මාර්තු 15 වනදා වනවිට ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇති අතර, මේ වනවිට පවතින සියයට 75 ක් පමණ සමස්ත ජල ධාරිතාව මෙවර යල කන්නය ආරම්භ කරන විට සියයට 85 ක් පමණ ප‍්‍රමාණයක් පවත්වා ගත යුතුවා. ඒ අනුව, යල කන්නයේ වාරි ජලාශ යටතේ ඇති වගා බිම් ප‍්‍රමාණය සම්පූර්ණය වගා කිරීමට නොහැකි වන බවයි මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඞී.එම්.එන්.ජේ. ධනපාල සදහන් කළේ.
එමෙන්ම, මෙවර මහ කන්නයේ වර්ෂාපතනය පෙර කන්නය හා සැසදීමේදී අඩුවීමක් පෙන්නුම් කරන බවයි මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළේ.
මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ සිට අක‍්‍රිය කිරීමේ අවදානමක පැවති කැළණිතිස්ස සංයුක්ත චක‍්‍රිය විදුලි බලාගාරයට නැප්තා ලීටර් මිලියන 1 යි දශම 3 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදී තිබෙනවා.
එය අද දිනයට ප‍්‍රමාණවත් බවයි එම බලාගාරය භාර උසස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කැළණිතිස්ස සංයුක්ත චක‍්‍රිය විදුලි බලාගාරය මගින් උත්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.