
විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට තමන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල සැප්තැම්බර් මාසයේ සිට යළි ගෙවීමට හැකිවනු ඇති බව බංග්ලාදේශය පවසනවා. බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ එරටදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ශ‍්‍රී ලංකා ආර්ථීකය ක‍්‍රමයෙන් යහපත් වෙමින් පැවතීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනවා. ශ‍්‍රී ලංකා රජය, තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන ලබාගත් ණය ගෙවීමට තවත් මාස හයක කාලයක් ලබාදෙන ලෙසට පසුගිය ජනවාරි මස මැද භාගයේදී බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුවයි බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ඩොලර් මිලියන 200 ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබා දී තිබුණේ.
විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විනිමය හුවමාරු ක‍්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාගත්තේ 2021 වසරේ මැයි මාසයේදීයි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ගෙවීමට නියමිතව තිබුණද රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ එය යළි ගෙවීමට නොහැකි වුණා.