
හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා කෝටිපති SHADES නිමි ඇඳුම් ව්‍යාපාරික ජාලයේ හිමිකරුගේ මරණය සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා. ඒ, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අඹු – සැමි යුවල ඊයේ කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් රඳවාගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට එහිදී පොලිසියට අවසර හිමිවුණා. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සැකකරු සමඟ පසුගිය 30 වනදා පස්වරුවේ සිය මෝටර් රථයෙන් ඔහුට අයත් පැලවත්ත, එම්.ඞී.එච් පුර පිහිටි නිවසට ගොස් තිබුණා. එහිදී නිවසක් කුලියට ගැනීම සඳහා ඉල්ලා සිටි රුපියල් ලක්ෂයක මුදල ලබා නොදුන් නිසා ව්‍යාපාරිකයා ඝාතනය කළ බවටයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ. ව්‍යාපාරිකයා අන්තර්ජාල මිතුරු යෙදවුමක් හරහා මෙම සැකකරු හදුනාගෙන ඇති අතර අවස්ථා කිහිපයකදී ඔවුන් පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව මේ වනවිට හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් පළමු වරට හමුවී ඇත්තේ පසුගිය 30 වනදා වන අතර පළමුව ව්‍යාපාරිකයාට අයත් නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් වෙත යාමට සාකච්ඡා කර ඇතත්, පසුව පැලවත්ත එම්.ඩී.එච් පුර පිහිටි නිවසට යාමටයි තීරණය කර ඇත්තේ.
එහිදී දෙදෙනා නාන තටාකයේ දිය නාමින් විනෝද වී තිබෙනවා. මුදල් නොදුන් නිසා එල්ලකළ ප‍්‍රහාරයෙන් පසු ව්‍යාපාරිකයා මියගොස් ඇති අතර පසුව සැකකරු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ බැංකු කාඩ්පත් රැගෙන ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. ඉන් අනතුරුවයි විදේශ ගතවීමේ අරමුණින් සැකකරු සිය බිරිඳද කැටුව කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් ඇත්තේ.
ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පතින් ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ටිකට්පත් දෙකක් මිලදී ගත්තද එම අවස්ථාවේදී වීසා ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ආපසු පැමිණ තිබෙනවා. අනතුරුව මෙම අඹු- සැමි යුවල පසුගිය 03 වනදා ත‍්‍රිකුණාමලය බලා බස් රථයකින් පිටත්ව ගොස් හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා.
ඒ වනවිට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීම සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ ප‍්‍රශ්න කිරීම් හමුවේ බිරිඳගේ පුංචි අම්මා ඔවුන්ට පැමිණ පොලිසියට භාරවෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුවයි ඊයේ ත‍්‍රිකුණාමලයේ සිට පැමිණ සැකකරු කඳාන පොලිසිය වෙත භාරවී ඇත්තේ. පසුව මෙම අපරාධය වසන් කිරීම ඇතුළු චෝදනා මත සැකකරුගේ බිරිඳද අත්අඩංගුවට ගනු ලැබුවා.
මියගිය ව්‍යාපාරිකයාගේ බැංකු ගිනුමෙන් රුපියල් ලක්ෂ 07 කට ආසන්න මුදලක් සැකකරු තම බැංකු ගිනුම වෙත හුවමාරු කරගෙන ඇති අතර කුලී නිවසක් සඳහා තවත් රුපියල් 130,000 ක මුදලක්ද ව්‍යාපාරිකයාගේ බැංකු ගිනුමෙන් ලබාගෙන ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.