
පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ‍්‍රී ලංකාව ඉල්ලා සිටි මූල්‍ය සහතිකය ලබාදී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකමක් ලබාගැනීමට එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා එය ඉවහල් වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා පැරිස් සමාජය විසින් ඔවුන්ගේ දායකත්වය, ණය තිරසරභාවය සහතික කරමින් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා. මීට පෙර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ණය හිමියෙකු වන ඉන්දියාව මෙරට ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා සිය කැමැත්ත පළ කළා. ඊට අමතරව සෞදි අරාබිය සහ පැරිස් සමාජයද මේ වනවිට ඊට අදාළ කැමැත්ත පළ කර තිබෙනවා.
ජපානය, ප‍්‍රංශය, කොරියාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඔස්ටි‍්‍රයාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව පැරිස් සමාජයේ සාමාජික රටවල්.
එසේම මෙරට ප‍්‍රධාන ණය හිමියෙකු වන චීනය සමඟද ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් ලබාගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇති කරගත් අතර, එහි විධායක මට්ටමේ අනුමැතිය ලබාගැනීම සඳහායි මෙරට ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍යතාවක් වී ඇත්තේ.